ඉන්දීය මහා මැතිවරණය ඇරඹෙයි. මෝඩිට වාරණයක්.

ඉන්දීය මහා මැතිවරණය අද ඇරඹුනා. මෙවර රජයක් පිහිටුවා ගැනීම සඳහා භාරතීය ජනතා පක්ෂය සහ කොංග්‍රස් පක්ෂය තියුණු සටනක නිරත වී සිටිනවා. අගමැති නරේන්ද්‍ර මෝඩි අගමැති අපේක්ෂකයා ලෙස එම කඳවුරෙන් දැඩි සටනක් දෙද්දී කොංග්‍රසය වෙනුවෙන් අගමැති අපේක්ෂක රාහුල් ගාන්ධි නරේන්ද්‍ර මෝඩි හට සටන අපහසු කරමින් පවතිනවා.

පසුගිය සමයේ නරේන්ද්‍ර මෝඩි ප්‍රමුඛ සභාග රජය ප්‍රාන්ත මැතිවරණයේදී ලැබූ පසුබෑම හමුවේ ඔවුන්ට මහා මැතිවරණය දිනා ගැනීම විශාල අභියෝගයක් වී තිබෙනවා. එම නිසා ඔවුන් ඒ සඳහා යෙදිය හැකි උපරිම බලය යොදමින් මැතිවරණ ව්‍යාපාරයේ යෙදී සිටිනවා. එම ව්‍යාපාරයේ එක් අංගයක් ලෙස නරේන්ද්‍ර මෝඩි වෙනුවෙන් නිපැයුණු චිත්‍රපටයක් ප්‍රදර්ශනය වීමට නියමිතව තිබුණා.

ඒ ‘PM නරේන්ද්‍ර මෝඩි’ නමින් නම් වූ චිත්‍රපටයක්. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ඕමුං කුමාර් ගෙන්. නරේන්ද්‍ර මෝඩි ගේ චරිතයට පන පොවන්නේ බොලිවුඩ් තරුවක් වන විවේක් ඔබරෝයි විසින්. චිත්‍රපටය නිකුත් වීමට තිබුණේ අද දවසේයි. නමුත් ඊයේ දිනයේදී ඉන්දීය මැතිවරණ කොමිසම චිත්‍රපටයේ ප්‍රදර්ශනයට එරෙහිව වාරණයක් පනවන්නට කටයුතු කළා.

ඔවුන් ඊට හේතු ලෙස දක්වා තිබුණේ නිශ්චිත අපේක්ෂකයෙකු වෙනුවෙන් වාසි සහගත වන අපදානයක් වීඩියෝ මාධ්‍යයෙන් හෝ සිනමා මාධ්‍යයෙන් මැතිවරණ සමයේ ඉදිරිපත් කිරීම ඉඩ දිය නොහැකි කරුණක් ලෙසයි. ‘PM නරේන්ද්‍ර මෝඩි’ පමණක් නොව මීට පෙර බොහෝ චිත්‍රපට මෙන්ම වාර්තා චිත්‍රපට ප්‍රසිද්ද කර තිබෙනවා. එමෙන්ම ඉන්දියාවේ ප්‍රකට චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වන EROS නරේන්ද්‍ර මෝඩි සම්බන්ධයෙන් නිපැයූ ටෙලිනාට්‍ය මාලාවක් වන ‘Modi: Journey Of A Common Man’ මේ වන විටත් වෙබ් මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වනවා. නමුත් ඊට එරෙහිව මැතිවරණ කොමිසම තම මතය ප්‍රකාශයට පත් කොට නැහැ.

මේ අතර ‘නමෝ TV’ නමින් නරේන්ද්‍ර මෝඩි ගේ කතා ඇතුලත් ජංගම දුරකථන ඇප් එකක් සහ කේබල් TV සේවාවල ස්ථාපිත කළ නාලිකාවක් නරේන්ද්‍ර මෝඩි සඳහා වෙළඳ ප්‍රචාරක මට්ටමෙන් සහභාගී වන බවටද පැමිණිල්ලක් මැතිවරණ කොමිසම විභාග කරමින් තිබූ නමුත් එම කතා පැරණි ඒවා නිසා මැතිවරණ ක්‍රියාදාමයට අනිසි බලපෑමක් එල්ල නොවන බවට ඉන්දීය මැතිවරණ කොමිසම තීරණය කොට තිබෙනවා.

PM නරේන්ද්‍ර මෝඩි පූර්ව ප්‍රචාරක පටය

නරේන්ද්‍ර මෝඩි ටෙලි මාලාවේ පූර්ව ප්‍රචාරක පටය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *