ඇන්ජලින් ගුණතිලක ගැයූ ‘ඩාන්සිං’ ගීත (ස්මරණ සටහනක්)

ඇන්ජලීන් ගුණතිලකගේ අපූරුම ගීතාවලියක් බිහිවූයේ සිනමාව හරහාය. මුල් යුගයේ එනම් ඇන්ජලීන් ද ලැනරෝල් වකවානුවෙ ඇයව බොහෝ විට යොදා ගනුයේ ‘ ක්ලබ් ඩාන්සිං ‘ ගීත වලටය. හින්දි සිනමාවේ ආශා බෝස්ලේවද බොහෝ විට ගැනුනේ “ක්ලබ් ඩාන්සිං” ගීත වලටය.

“ඔකඳ වෙලා සිත ඔකඳ වෙලා
තුරුණු වියේ සිත ඔකඳ වෙලා

අවන්හලේ සැගවී යන අඩ අදුරේ
සිහින ලොවේ ඔබ හා
සැනසෙන මොහොතෙ
ළඟින් ඉඳන් රස කතා කියා
සනසන්නම් ඔබ මගෙයි කියා”

ලාංකේය සිනමාව තුල ඇන්ජලින්ට තරම් ‘ක්ලබ් ඩාන්සින්’ ගීත ගැයීමට වෙන කිසිවෙකටත් බැරිය. ඉහත ගීතය ‘ක්ලබ් ගීතයකි” කුසුම් පෙරේරා වෙනුවෙන් ,ඇන්ජලින් ගැයුවේ ක්ලැරන්ස් විජේවර්ධනගේ සංගීතයටය. එය ඇතුලත් වූයේ “අපේක්ෂා” චිත්‍රපටයටය.

‘රන් ඔන්චිල්ලා” චිත්‍රපටයට ප්‍රේමසිරි කේමදාසගේ සංගීතයට කේ.සේන සමඟ බොහොම ශෘංගාරාත්මක ගීතයක් ඇන්ජලින් විසින් ගැයුවාය. එහී ‘ඩාන්සර්’ කෙනෙක් ලෙස රඟපෑවේ රත්නාද සිල්වාය. ඇයට සහය වූයේ රොබින් ප්‍රනාන්දුය. මේ ඇන්ජලින් ගැයූ ගී පදයයි

‘ආලමකන්දාව මුලාවේ
උන්නු ගමන් මාව ගෙනාවේ
තනි සළුවයි ඇඳගෙන ආවේ
ඒ සළුවත් සුළඟට පාවේ”

මීවිත ඔබ සමඟින් බොන්නම්
ජිවිතයක මිහිර සඳන්නම්
සීගිරියේ ආදරි වන්නම්
රඟන්න මම ගීත ගයන්නම්”

“පුජිතයෝ” චිත්‍රපටයේ ප්‍රේමසිරි කේමදාසගේ සංගීතයට ඇන්ජලින් හොද “රිදම්” එකක් සහිත ගීයක් ගැයුවාය.

“ලස්සන මලකට ,ඇස් දෙක ඇදුනම
සිතට සතුට ගෙන දෙයි
සුසිනිදු මුහුණට ලං කර බැලුවම
සිනිදු සුවද සිප එයි
කෝමල කම්මුල් පොපියයි
නාඹර පෙති ගෙන සරසයි
ලාලිත නෑඹුල් දේහේ
වීනස් දෙව් දුව වාගෙයි”
මෙම ජවනිකාවට රඟපෑවේ නිලන්ති විජේසිංහය.

“නිල්ල සොයා” චිත්‍රපටයට සරත් දසනායකගේ සංගීතයට ” ඩාන්සිං” ගීතයක් ඇන්ජලින් ගැයුවේ මානෙල් වානගුරු වෙනුවටය. මිල්ටන් මල්ලවආරච්චි සමඟ ගැයූ මෙම ගීය මෙසේය.

“යෞවන උයනේ පියුම් තටාකේ බිඟුවැල්
පෑහේ, මා ඔබ පෑහේ
අත්සල ඉඟිලෙන පෙම් රැලි පෙම් සිළු
හඬවනා
දැන් අපි යමු, වෙන රටකට පෙම් සඳ පායනා”

“සූරයන්ගෙත් සූරයා” චිත්‍රපටයට සන්ධ්‍යා කුමාරි හා උදුලා දාබරේ වෙනුවෙන් ඇන්ජලින් ගැයූ “ඩාන්සිං” ගීතයක් තිබුණි.

“ආදර ගීයක තාලේ ඇසේ
ඒ ගී නාදෙට පාද සැලේ
ලාලිත ලාලන සිහින ලොවේ
කාගෙද රූපය දැසෙ ඇදේ”

එලෙසම “එදත් සූරයා අදත් සූරයා” චිත්‍රපටයට සෝනියා දිසා වෙනුවෙන් ඇන්ජලින් ක්ලබ් ඩාන්ස් ගීතයක් ගැයුවාය. එයට ඇය හා එච්. ආර්.ජෝතිපාල එක්වූ අතර, සෝනියා සමඟ නැටුමට එක්වූයේ ගාමිණි ෆොන්සේකාය

“ආදරයෙන් මත් වීලා
මා තනියෙන් මෙහි දාලා
යන්න එපා මා හැරදා
මේ රැයේ. “

“ඔහොම හොඳද” චිත්‍රපටයට සෝනියා දිසා අැතුලු පිරිසකගේ “ඩාන්සිං” ජවනිකාවකට අැන්ජලීන් ගීයක් ගැයුවාය. එයට එච්.ආර්.ජෝතිපාලද හවුල් විය. ගාමිණි ෆොන්සේකා ප්‍රධාන නළු චරිතයට රඟපෑවේය

“කලියුග කාලෙ මේකද තාලේ
දේසෙට බාසේ ඕනැලු රාළේ
ඉස්සර කාලේ, මුත්තලා තාලේ
මේ වාගේ පාර වේගයෙන් නෑනේ”

බැප්ටිස් ප්‍රනාන්දු ගේ “දුප්පතාගේ හිතවතා” චිත්‍රපටයට ක්ලබ් ඩාන්ස් ගීතයක් ඇන්ජලීන් විසින් ෆරිනා ලායි වෙනුවෙන් ගැයුවාය.

“මධු මීවිතේ මිහිරයි
සංගීතය නව රසයයි
මේ මත්වුණු බඹරගේ
නුරා බිඟුන් සිසිලයි”

ඇන්ජලීන් ගේ මධුර මනෝහර චිත්‍රපට ගීත හරි හැටි ගැලපුනේ එච්.ආර්. ජෝතිපාල සමඟය.

“දීපසිඛා” චිත්‍රපටයට සන්ධ්‍යා කුමාරි වෙනුවෙන් ගැයූ ගීතයක් අතීශය ජනප්‍රිය විය. ඒ ඇන්ජලීන් ද ලැනරෝල් ගේ කාලෙ ගැයූ ගීතයක්ය. එය ඇන්ජලින් ක්‍රෙෂ්ථයට ආ මුල් කාලයේ ගීතයක්ය. ජෝතිපාලගේ හඬ ඇන්ජලින්ගේ හඬට තහවරු වුණු ගීතයක් ලෙසද මෙය හැඳින්වීමට හැක. මෙය 60දශකයෙන් එළියට ආ හින්දි අනුකරන ගීතයක්ය.

“මේ මෝසම් මඳ සුළඟ හමා
පවසා යන්නේ මේක තමා
ඔබ මගෙ, මා ඔබේ ප්‍රාණ සේ
සංසාරේ එන්නට ඕනා.

පුන් සඳ රන්වන් රැස් ගලලා
ඇහුණද කීදේ අප දැකලා
ඔබ මගේ, මා ඔබෙ ප්‍රාණ සේ
සංසාරේ එන්නට ඕනා”

සිංහල සිනමාවේ බොහෝ සුක්කුරුත්තන් ගීත ගැයීමට ලැබුනේද ඇන්ජලින්ටය.

“දෝතින් දෝතයි,
ජීවෙන් ජීවෙ
ජය මංගල හඬ දේ
කුරු කූ, කුරුකූ, කුරුකූ කුරුකූ
කුරු කූ, කුරු කූ”

තබනා තැන පියවර ඔබගේ
ලෝකය දිවෙයි මගේ
අවදිව ඇති ඔබෙ සුවද හදේ
මගෙ රජදහන සැදේ”

ඒ වගේම මාලනී ෆොන්සේකා වැනි නිළියන්ට අත පය දිඟහැර, නිදහස් ආරෙට නටන්නට ඇන්ජලීන්ගේ හඬ ඉමහත් සේ ඉවහල් විය

“ගීතේ පෙම් ගීතේ, මද සීත පවනේ ඈදේ
මධු ගීතේ පෙම් ගීතේ, මද සීත පවනේ ඈදේ
දෙසවන් පිරී ගලාලා, අමවන් රසේ දැනීලා”

මේ අනුකාරක ගී දෙකම ජනප්‍රිය වීමට මුල් හේතුව වූයේ, ඇන්ජලින් ඒ සුකුරුත්තන් ශෛලයට ගැයු නිසාය. මේ ගී දෙකම අයත් වූයේ “සුහද පැතුම” චිත්‍රපටයේ කොටම කොට ගවුම් ඇදගෙන සුක්කුරුත්තන් නැටුම් නැටූ මාලනී ෆොන්සේකාටය.

“අයි ලව් යූ, යූ ලව් මී
ආයි ලව් යූ, යූ ලව් මී
කෝ මාගේ ජීවන ගීතේ
කෝ මාගේ ජීවන ගීතේ

ඔබෙ දෑසෙ සැංගී ගෙනාවේ
මොනවාද තෑගී ගෙනාවේ
මාගේ ප්‍රේමේ පුදාලා
සැමදාම ඉන්නම් රැඳීලා”

“සූරයන්ගෙත් සූරයා” චිත්‍රපටයට සන්ධ්‍යා කුමාරි වෙනුවෙන් එම ශෘංගාරාත්මක ගීතය ගැයූ ඇන්ජලීන්, ‘ එදත් සූරයා, අදත් සූරයා” චිත්‍රපටයට මාලනී ෆොන්සේකා වෙනුවෙන් ‘රොමැන්ටික්’ ගීතයක් ගායනා කළාය.

“සුදු පාට මී දුම් ගලාලා
අර පේන කන්දේ වෙලීලා
මද හාස පෙන්වා බැදීලා
දෙදෙනාට රහසේ කියාදී
ආදරේ ඒ ඒ ඒ එ් ඒ”

ඇන්ජලින්ගේ හඩ තව තවත් හොදහැටි පොලිශ් වූයේ සරත් දසනායකගේ තනු හා සංගීතය තුලින්ය.

‘ඔබෙ දෙපා ලඟ මගේ තුරුණු හඳ පිරේ
හිම වතේ සිසිල දී ගිමන සං සිදේ
හා ආ ආ හා හා හා
ඔ හො හො හෝ හෝ හෝ
ආදරේ, ආදරේ මී බදුන් පිරේ”

“සදහටම ඔබ මගේ” චිත්‍රපටයට ඇය මාලනිය වෙනුවෙන් එසේ ගයන විට,

“ආල හැඟුම් දවටලා යොවුන් සිනාවේ
තුටින සලන රැඟුම් රඟ රඟා
පෙම් කථා මල් පොටින් ලැමැද වසාලා
නිමා නොහැක ආල කුමරුනේ

යලි මාලණිය වෙනුවෙන් ‘කස්තුරි සුවඳ’ට ගැයුවාය.

‘හසරැල් අමා දියේ
තිසරුන් තෙමී ගියේ
රන් වන් ලතාවෙන්
එන්න ලංවී
සුදේහිනියේ දිවා රැයේ

මානෙල් වානගුරු වෙනුවෙන් “නිල්ල සොයා” හී ගී ගැයූ ඇය

“අනංග රන් හීයේ මල් සැරය වැදීලා
සිතක් සිතක ලැඟුම් ලගාලා
සමන් ලතාවේ ,මලක් සිනාවේ
යොවුන් සුවඳ නැවුම් සිතක ගෙනාවේ
පැතුම් පතාලා, පෙරුම් පුරාලා
මැව්ව විමන සෙව්ව සෙවන පිරිලා”

කියමින් “ආශා දෑසින්” චිත්‍රපටයට ශ්‍රියාණි අමරසේන වෙනුවෙන් ගැයුවාය.

“දෙසවන් ඇසුනද, දෙනුවන් පෙනුනද, ඔබෙ රුව ඔබෙ හඬ මට සිහිවී
හිනැහී ආකාසේ, දිනිදා නැගෙනා සේ
ආවා සොයා, ආවා සොයා, ආවා සොයා ආදරේ

යනුවෙන් යලි මාලනියට ‘ආවා සොයා ආදරේ” චිත්‍රපටයට ගැයූ ඇන්ජලින්,

“ගිගිරි කිඳුරු රාවේ, සවන් පුරා පාවේ
මා ඔබේ ප්‍රියම්බිකාවී”

කියමින් “මධුවන්ති” චිත්‍රපටයට ගීත කුමාරසිංහ වෙනුවෙන් ගැයුවාය.

මේ සියල්ලම සරත් දසනායකගේ සංගීතයට ඇන්ජලීන් ගැයූ ගීතයන්ය.
එලෙසම මෙම සියල්ලම “ඩාන්සිං” ගීතයන්ය.

60 දශකයේ සිටම ඇන්ජලින් තරම් අපේ නිළියන්ව නැටවූ ගායිකාවක් තවත් නොවීය. එකල ‘ස්විප් ටිකට්’ චිත්‍රපටයට වර්නා කැස්පස් වෙනුවෙන් ගැයූ

“හොඳ සිරියාවයි ආකාසේ, වාසනාවට ආදරේ, අපෙ ආදරේ, ආදරේ අපේ ආදරේ
පෙම් සුව විඳිනු වගේ
ප්‍රීතියක් අැත්තේ නෑ
මයි ඩාලිං, මාගෙයි දැං
මෝරලා එයි සෙනේ”

හා “සුදු දුව” චිත්‍රපටයට සන්ධ්‍යා කුමාරි වෙනුවෙන් ගැයූ

‘ආවා සොයා ආදරේ, ගීතේ ගයයි සාගරේ
හැටි දන්නෙ අපි නේ ඔබේ, නෑ නෑ ඇයි ප්‍රියේ.”
වැනි ගීත හොදම උදාහරණයකි .

ඕනෑම අනුකරන ගීතයකට, (විශේෂයෙන් හින්දි හා දෙමල ,) ඉක්මනින් අනුයුක්ත වීමට ඇයට තිබුනේ පුදුමාකාර දක්ෂතාවයකි. එයිනුත් මේ ‘ඩාන්ස්’ ගීතාවලිය, සුවිශේෂිතය.

ඇත්තටම ඇන්ජලීන් ගේ හඬ එකල සිට නොතිබුනානම්, ලාංකේය සිනමාවට ‘ඩාන්ස් ගීත’ කියා දෙයක් තිබෙවිදැයි නම් ප්‍රශ්නයක්මය.

ඉතින් ඇන්ජලින්, යෑමට පෙර, හැරී බලන්න. ලාංකේය වින්දනීය සිනමාව, ඔබ නැතිව කෙතරම් පාලුද කියා.

-ශෝන් මැක්ස්මස් දිසානායකගේ-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *