බැට්මෑන්ට 80යි…

චිත්‍රකතා ලෝකය ගැන කතා කරද්දී ප්‍රධාන කඳවුරු දෙකයි තියෙන්නේ. ඒ තමයි මාවල් සහ ඩීසී. චිත්‍රපට අතින් මාවල් අතිසාර්ථක වුණ එක ඇත්ත. නමුත් කවුරු කොහොම කිවුවත් “ඇමෙරිකානු චිත්‍රකතා” එහෙමත් නැත්නම් “comics” කිවුව ගමන් ඉස්සෙල්ලම මතක් වෙන නම් දෙකයි තියෙන්නේ. ඒ තමයි සුපර්මෑන් සහ බැට්මෑන්.

සුපර්මෑන් සහ බැට්මෑන් චරිත දෙකම අයිති ඩීසී සමාගමට. ලෝකයේ ප්‍රමුඛතම චිත්‍රකතා සුපිරි වීරයා විදිහට 1938 දී ජෙරී සීගල් සහ ජෝ ශස්ටර් විසින් සුපර්මෑන් නිර්මාණය කරද්දී ඊට අවුරුද්දකට පස්සේ, ඒ කියන්නේ 1939 මාර්තු 30 වෙනිදා තවත් වීරයෙක් බිහිවෙනවා. වවුලෙක්ට සමාන වෙස් මුහුණක්, හිස් වැස්මක් සහ ලෝගුවක් එක්ක, රහස් පරීක්ෂක ගණයේ පුංචි කතාවක් බිල් ෆින්ගර්ගේ රචනයෙන් සහ බොබ් කේන්ගේ චිත්‍රණයෙන් හැඩ වෙලා Detective Comics 27 වෙනි කලාපයට ඇතුළත් වෙනවා. ඒ චරිතය තමයි බැට්මෑන්.

උස් පහත් වීම් එක්ක අවුරුදු ගණනාවක් තිස්සේ තරමක සීනිබෝල ගතියෙන් දිගහැරුණු බැට්මෑන් චිත්‍රකතා මාලාවට එකසැරේම උඩුයටිකුරු කරපු වෙනසක් එන්නේ 1986 දී. ඒ ෆ්‍රෑන්ක් මිලර් රචනා කරන The Dark Knight Returns කියන කෙටි චිත්‍රකතා මාලාව ඔස්සේ. බැට්මෑන් කියන්නේ ආච්චිලා පාර මාරු කරවන්නවත්, ගස් වලට නැඟපු පූසෝ බිමට අරන් දාන්නවත් ගොඩනඟපු චරිතයක් නෙවෙයි, ඊට වඩා ගැඹුරු, පෘථුල පරාසයක දිගහරින්න පුළුවන් බරපතල චරිතයක් කියන දේ ඒත්තු ගන්වන්න The Dark Knight Returns කතාවට හැකි වුණා. 1966 දී ඇඩම් වෙස්ට් පණ පොවපු බැට්මෑන් ටෙලි කතා මාලාව හැදෙන්නේ මං කලින් කිවුව සීනිබෝල වට්ටෝරුවට. ඒත් 86න් පස්සේ බැට්මෑන්ව කාටවත් ජෝක් එකක් වුණේ නෑ.

බැට්මෑන්ට වටිනා නිධාන කතාවක් හැදෙනවා. බෲස් වේන් කියන්නේ ධනවත්, වංශවත් වේන් පවුලේ එකම දරුවා. පියා තෝමස්, මව මාර්තා. මොවුන් ජීවත් වෙන්නේ ගෝතම් නගරයේ. එකම දරුවා විදිහට දෙමවුපියන්ගේ ආදරය මැද්දේ වැඩෙන බෲස් වත් එක්කගෙන තෝමස් සහ මාර්තා චිත්‍රපටයක් නරඹන්න සිනමාශාලාවට ගොඩ වෙලා ආපහු එන ගමනේදී මංකොල්ලකාරයෙක්ගේ ප්‍රහාරයට ලක්වෙනවා. ඒ නිසා බෲස්ගේ මවත් පියාත් දෙදෙනාම වෙඩි පහරින් මරුමුවට පත්වෙනවා. ඒ මොහොත තමයි එතනින් එහාට බෲස්ගේ ජීවිතය ගෙනියන ඉන්ධනය බවට පත් වෙන්නේ. මං සම්පූර්ණ කතාව කියන්න යන්නේ නෑ. මොකද ඒක අපි හැමෝම දන්න නිසා.

ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ටිම් බර්ටන් 1989 දී බැට්මෑන් සිනමාපටයක් නිර්මාණය කරනවා මේ අඳුරු හැඩතල එක්ක, සුපිරි හොලිවුඩ් නළු මයිකල් කීටන්ව ප්‍රධාන චරිතයට යොදවලා. චිත්‍රපටය ඉහළ විචාරක, ප්‍රේක්ෂක පැසසුම් ලබන්නේ බැට්මෑන් ගැන වෙනම කියවීමක් සිනමාත්මකව සිදුවුණු ආගමනයත් එකතු කරගෙන ගොඩනඟන්න රසිකයන්ට අවස්ථාව ලබාදෙමින්. ටිම් බර්ටන්ගේ සිනමා හැඩය මතුවෙන ආකාරයට ඩීසී සමාගමෙන් 1992 දී Batman: The Animated Series එක නිර්මාණය කරන්නේත් මේ අඳුරු බැට්මෑන්ට ජනතාව දක්වන ඉහළ ප්‍රතිචාර නිසයි. බැට්මෑන් චිත්‍රපටයේ දෙවන කොටසත් සාර්ථක වුණත් එතනින් එහාට බහුතර චිත්‍රපට අසාර්ථක වෙනවා.

බැට්මෑන් ගැන ලෝකය සීරියස් වෙන්න පටන් ගන්නේ 2005න් පස්සේ. ඒ ක්‍රිස්ටොෆර් නෝලන් බැට්මෑන්ව නැවතත් රිදී තිරයට ගේන්න තියපු පියවරෙන්. මෙච්චර දවසක් චිත්‍රකතා චරිත ගැන මිනිස්සුන්ට තියෙන ආකල්ප ඔක්කොම එකතු කරලා උස්සලා පොළේ ගහන නෝලන් රියලිස්ටික් බැට්මෑන් කෙනෙක්ව නිර්මාණය කරනවා. හරියට “අපේ ටවුමේ ඉන්න සෙල්ලක්කාර සල්ලිකාරයත් රෑට හොරුන්ට නෙළන්න යනවද දන්නෑ” කියන ආකල්පය ප්‍රේක්ෂකයාට දෙන්න පුළුවන් වෙන්න, මේ චිත්‍රකතා වීරයාව මහ පොළවට ගේනවා. අපි අතරට ගේනවා. ඒ ස්ට්‍රැටජි එක වැඩ කරන්නේ හිතන්නවත් බැරි තරමේ සුබවාදී විදිහට.

අදටත් හොඳම බැට්මෑන් සිනමා නිර්මාණය විදිහට සැළකෙන්නේ නෝලන් කරපු The Dark Knight Trilogy එක. ඒක ඇඟට වෙනම ෆීල් එකක් දුන්න වැඩක්. හාන්ස් සිමර්ගේ සංගීතය ඇහෙද්දී, හීත් ලෙජර්ගේ ජෝකර් රංගනය දකිද්දී, කතාව පුරා පිස්සු හැදෙන දෙබස් දිගහැරෙද්දී, ඇඟේ හිරිගඩු පිපෙන තරමට ඒ වැඩේ දැනුණා. නෝලන් ගැන ගැලරියේ මිනිස්සු ගොඩක් උනන්දු වෙන්න ප්‍රධානම හේතුව වුණේ The Dark Knight Trilogy එක.

මට කියන්න අවශ්‍ය වුණේ වෙන කතාවක්. චිත්‍රකතාවෙන්, පුංචි තිරයෙන්, රිදී තිරයෙන්, විවිධාකාරයෙන් බැට්මෑන් චරිතය අපිට සමීප වෙනවා. සුපිරි වීර චරිත ගොන්නක් මැද්දේ බැට්මෑන්ට වෙනම රසික ප්‍රජාවක් ගොඩනැඟෙනවා. හැම කෙනෙක්ගේම අවධානය, ආදරය ලැබෙන චරිතයක් බවට පත්වෙනවා. ඒ ඇයි?

Justice League චිත්‍රපටයේ දී බැරී ඇලන් බෲස්ගෙන් අහනවා, “මොකද්ද ඔයාගේ සුපිරි බලය?” කියලා. බෲස් පිළිතුරු දෙනවා, “මම ධනවත්” කියලා. ඒ වගේම අවසානයේදී ස්මෝල්විල් ගමේ තියෙන ක්ලාක්ගේ මහගෙදර, ඒ කියන්නේ ‘කෙන්ට් නිවස’ බැංකුවට සින්න වෙන්න යද්දී ඒක බේරලා දෙන්නේ බෲස්. ක්ලාක් අහනවා කොහොමද ගෙදර බේරගත්තේ කියලා. බෲස් උජාරුවෙන් පිළිතුරු දෙනවා, “මම ඒ බැංකුව මිල දී ගත්තා” කියලා.

ඔව්. බෲස්ට තියෙන බලය මුදල් තමයි. ඔහුට අවශ්‍ය කරන හැම ගැජට් එකක්ම, හැම වාහනයක්ම, හැම ආයුධයක්ම නිපදවන්න මුදල් තියෙනවා. හැබැයි ඒ විතරක් නෙවෙයි ඔහුගේ බුද්ධිමත්කමත්, දැනුමත් එක්කම තමන්ගේ වේදනාවත් ශක්තියක් කරගෙන තියෙනවා.

බෲස් වේන්ට ලොව පුරා ජනාදරය ලැබෙන්න ප්‍රධානතම හේතුව විදිහට මං දකින්නේ ඔහු සාමාන්‍ය පුද්ගලයෙක් වීම. බෲස් පෙන්නනවා තමන්ටත් සුපිරි වීරයන් එක්ක කරට කර හිටගන්න පුළුවන් කියලා. මේක ආත්මවිශ්වාසය ගැන පාඩමක්. තමන්ට වඩා මොන තරම් පොරවල් හිටියත් තමන් ගැන විශ්වාස නම් ඒ අය එක්ක එකට ඉන්න, ඒ අයට අභියෝග කරන්න, නැත්නම් ඒ අය අභිබවා යන්න පවා බය වෙන්න දෙයක් නෑ කියන පණිවිඩේ තමයි මම බෲස් වේන්ගේ සමස්‍ත චරිතය තුළ දකින්නේ.

බෲස්ට ලොකු අසාධාරණයක් සිද්ධ වෙනවා. සමාජයේ කුරිරුකම් නිසා ඔහුට ඔහුගේ ළමා කාලය අහිමි වෙනවා. තමන්ගේ ඇස් දෙක ඉස්සරහම දෙමවුපියන් මිය ගිය වේදනාවත් එක්ක ඔහුගේ ජීවිතයම අඳුරු ගුහාවක් වෙනවා. ඒ අඳුර තමයි ඔහුව ජීවත් කරවන පන්නරය වෙන්නේ. කුඩා කාලයේදී බෲස් වවුලන්ට බයයි. පස්සේ ඔහු තමන්ගේ බය, අනුන්ට බය දනවන සංකේතයක් විදිහට යොදාගන්නවා. “ළිඳට වැටුණා නං ළිං කටින්ම ගොඩ එන්න ඕනේ” කියලා කියමනක් තියෙනවානේ. නමුත් බෲස් වෙනස්. ඔහු ළිඳට වැටුණට පස්සේ ළිඳ හරහා තවත් ගුහාවකට යන්න පුළුවන් කියන දේ හොයාගන්නවා. ඉන්පස්සේ ඒ ගුහාව තමන්ගේ මෙහෙයුම් සියල්ල පාලනය කරන මධ්‍යස්ථානය බවට පත් කරගන්නවා. සයිකලොජිකල් පැත්තෙන් ගත්තොත් මං හිතන්නේ බැට්මෑන් කියන්නේ නොසිතන මොහොතක ඇතිවෙන මානසික පීඩනය සහ ඒ තුළින් ඉදිරි ජීවන තීරණ වෙනස් වෙන අන්දම, එයින් මිදීම, බාහිර ලෝකයෙන් තමන්ට දනවන වේදනාව ශක්තියක් බවට හරවා ගැනීම සහ ජීවිතය එක ඉලක්කයක් කරා ගෙන යෑම පෙන්වන්න පුළුවන් හොඳ සාධකයක්.

බැට්මෑන් ගැන කතා කරද්දී මතක් කරන්න ඕන අනිත් කෙනා තමයි ‘ජෝකර්’.බැට්මෑන්ගේ ප්‍රධාන හතුරා වුණ මේ පිස්සු මනුස්සයාට ලෝකය පිස්සු වැටුණා. මොනතරම් සාර්ථකව ගොඩනඟලා තියෙනවාද කියනවා නං, මේ චරිතයට රිදී තිරයේ පණ පොවපු හැමෝම මානසික අවදානමකට තල්ලු වෙනවා. ජැක් නිකල්සන්, ජැරෙඩ් ලෙටෝ ඒකෙන් ගොඩ ආවා. අවාසනාවට හීත් ලෙජර්ට ඒ දේ බැරිවුණා. ජෝකර් කියන්නේ බැට්මෑන්ගේ අනිත් පැත්ත. කාසියේ අනෙක් මුහුණත. බැට්මෑන්ගේ ‘යිං’ට ‘යැං’ වෙන්නේ ජෝකර්. ඇත්තටම පිස්සෙක් කිවුවට ජෝකර් පිස්සෙක් නෙවෙයි. ඒත් ඔහු හොඳ මිනිහෙකුත් නෙවෙයි.

‘ජෝකර්’ කියන්නේ බැට්මෑන්ගේ සෙවනැල්ල. අඳුරේ ඉන්න බැට්මෑන්ටත් සෙවනැල්ලක් තියෙනවා. ඒ තමයි හිතේ අඳුරු පැත්ත. ජෝකර්ගෙන් සංකේතාත්මකව පෙන්නන්නේ අපේ හිතේ ගැඹුරුම තැන තියෙන බය, ආත්මාර්ථකාමීත්වය, ශිෂ්ඨාචාරගතව හික්මවන්න අපිම දාගත්ත නීති සමුදාය කුඩුපට්ටම් කරලා මූලික මිනිස් අවශ්‍යතා සපුරාගන්න අපිට තියෙන අඳුරු ආශාව. දුෂ්ටයෙක් වෙලත් අපි ජෝකර්ට ආසක්‍ත වෙන්නේ ඇයි? ‘ජෝකර්’ කියන්නේ අපේ හදවතේ අපිම විතරක් දන්න අඳුරු කොටසට.

පුදුම හිතෙන කාරණය තමයි, මේ තනිකර මනඃකල්පිත චරිත. නමුත් ඒ චරිත ගොඩනඟන්නේ මිනිස් මනසින්. තව විදිහකින් කියනවා නං මේ චරිත වලට හැඩතල ලැබෙන්නේ අපේම ඇතුළාන්තය එළියට ඇදීමෙන්. බැට්මෑන් තමයි කිසිම සුපිරි බලයක් නැති සුපිරි වීරයා. මට නම් බැට්මෑන් විශ්වය කියන්නේ තනිකරම කේස් ස්ටඩි එකක්. ඒ විශ්වයට අදට අවුරුදු 80ක් පිරෙනවා.

අද රෑටත් බෲස්, වේන් මන්දිරයේ තමන්ගේ කාමරයේ පියානෝවේ යතුරු තුනක් ඔබලා, විවර වෙන රහස් කවුළුවෙන් පහළට බැහැලා, ආරක්ෂක ඇඳුම, ලෝගුව, හිස්වැස්ම පැළඳගෙන, ආයුධ සන්නද්ධ වෙලා, බැට්මොබිල් එකට ගොඩවෙනවා, තමන්ට අත්වුණු ඉරණම, ගෝතම් නගරයේ තවත් දරුවෙක්ට අත්වෙන්න තියෙන ඉඩ අහුරන බලාපොරොත්තුවෙන්.

Happy Birthday, Bruce.

– ෂෙනාල් ගුණසේකර –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *