අදට යෙදෙන හෙළ සිනමා සක්විතිගේ 83 වන ජන්ම දිනය වෙනුවෙනි…

දවස පැහැබරය. ඊයේ රාත්‍රියේ ඇදහැළුණු මහා මුරුගන් වරුෂාවෙන් පරිසරයම සේදී සුද්ද පවිත්‍ර වී ඇත්තා සේය.. අද දිනය පැහැබර වන්නට එයද හේතුවක් වන්නට ඇත. සති කීපයක් සිට සිතා සිටි ඒ මහගු කාර්ය කිරීමට අද දවස සුදුසු යැයි හැගුණි. ගාමිණී ෆොන්සේකාව සොයා යෑමටය මා සැරසුනේ . ලද තොරතුරු අනුව නම් ඔහු මේවන විට සිටින්නේ මාතර ප්‍රදේශයේ කොග්ගලට නුදුරු මහා කප්පින වලව්වේය. මා කොග්ගලට පැමිණ ඒ ඉසසව්ව කරා ගියේ කරත්තයකිනි . එම කරත්තයද මා මගට බස්සවා කීයේ වම් අතට තිබෙන මාර්ගයේ ටිකදුරක් ගොස් හමුවන පලවෙනි පාරේ දකුණු අතට හැරී ටික දුරක් ගිය පසු වලව්ව හමුවන බවය.කරත්තය මට විරුද්ධ දිශාවට යන හෙයින් ය ඔහු මා මහා මග බැස්සුවේ. මා ඔහු කි මාවත දිගේ සෙමින් පියමං කලේ මහා කප්පින වලව්වට ගොස් ගාමිණී ෆොන්සේකා හමුවීමටය.ඒ යන අතරමගදී තරමක කේඩැරි මැදිවියට ආසන්න මිනිසෙක් මට හමුවිය.

වයස 35ත් 40 ත් අතර,එහෙත් වයසට වඩා වැඩි බවක් පෙනුනු, මුහුනේ තැනින් තැන රැවුල වැවුනු, ප්‍රශ්න රාශියක් හිතේ තබාගෙන, අහස පොලව ගැටලන්න මෙන් කල්පනා සිතින් යන මොහුගේ තිබුනේ අවිහිංසික පෙනුමකි. ඔහු ආවේද මහා කප්පින වලව්ව පැත්තට යන පාරේ සිටය. ගාමිණී පොන්සේකා ගැන මොහුගෙන් ඇසීමට මට සිතුනි. මා ඔහුගේ ගමන මදකට නතර කර ගතිමි.

වංහුං අසන විට ඔහු කීවේ අමුතුම කථාවකි. ඔහු පැමිනේනෙ කයිසාරුවත්තගේ, මහා කප්පින වලව්වේම සිටය. කයිසාරුවත්තේ මුදලි තුමාගේ එකම බෑනා ඔහු යැයි කීවිට, එය විශ්වාශ කල නොහැක්කේ, ඔහුගෙන් පෙනුනු බාල සිල්ලර පෙනුම නිසාය. එහෙත් ඔහු තුලින් මතුවු අවිහිංසක කමට ඔහු කියනදෑට මා කන්දුනි. ඔහුගේ නම ජිනදාස බවත් කයිසාරුවත්තේ මුදලිතුමාගේ දෙවැනි දියනිය නන්දාව කර කාර බැන්ද බවත්, එයින් ඔහුට සිදුවු සෙතක් නොවු බවත්, දැන් මුදලිතුමා මියගොස් ඇති අතර, ගරා වැටීයන වලව්වට මුක්කු තැබීමට තමනට එතරම් සවි ශක්තියක් නොමැති නිසාත්, ලැබුනු එකම දරුවා මිය ගිය නිසාත්, රැකියාවක් සදහා දුර පලාතකට යන බව කීවේ, ජීවිතය ගැනද විශාල බලාපොරොත්තු තබා ගෙන නොවේ.

ඔහුගේ හෑල්ල අසා සිටි මා ගාමිණී ෆොන්සේකාත් මහා කප්පින වලව්වේ සිටිනවාදැයි ඇසීය. ඔහු කිවේ මාතර හාමිනේත්, අනුලාත්, තමාගේ බිරිද වූ නන්දාත් හැරෙන්නට එහි වෙන කව්රුත් නැති බවය. නන්දාගේ මලනුවන්වූ තිස්ස නැවතී සිටින්නේ කොළඹ නගරයේ බවත් නන්දාගේ වැඩිමහල් සොහොයුරිය අනුලාද විවාහ නොවූ නිසා වෙන පිරිමි කිසිවෙක් නැතිබවක්ද කීය. ගාමිණී ෆොන්සේකාව දන්නවාදැයි මා ජිනදාස ගෙන් ඇසුවිට, ඔහු කීවේ එවන් පුද්ගලයෙක් ගැන අසාවත් නොමැති බවය.ගාමිණි ෆොන්සේකා කප්පින වලව්වේ නොමැති බව සාක්ෂාත් කරගත් මා ජිනසේන සමගම කොග්ගල නගරයට පැමිණියෙමි.

බන්ධු ඒ බවක් දන්නවා ඇතැයි මට සිතුනි. බන්ධු හොද කඩවසම් තාරුණ්‍යය වැගිරෙන වයසක සිටි අතර, මුහුදු පතුලේ කිමිදෙමින් වස්තුවක් පසු පස යන දක්ෂ කිමිදුම් කරුවෙකු විය. ඔහු අධිෂ්ඨානශීලිය. කිසිවකට ඔහු යන එල්ලය නතර කිරීමට නොහැකිය. කෙතරම් බාධක කම්කටොලු පැමිනියද, ඔහු ඒවා ජයගෙන මිස, නතර වන්නේ නැත. බන්ධුට එක්වරම කිට්ටු වීමට බයය. ඒ ඔහු තුලින් දිස්වූ පෞරුෂත්වය නිසාය. එහෙත් මා ඔහු හා කථාවට,වැටුනි. ඔහු කථාකලේම මුහුදු පතුලේ ඇති වස්තුව ගැනය. එය පසු පස යන හොරු රැල විනාශ කර හෝ, එම වස්තුව රටට භාර දීම ගැනය. මා ඔහුගේ භාරදූර එමෙන්ම අවංක චේතනාවට, ශුභපැතූ අතර , ඔහුගේ එඩිතර කම ගැන ආඩම්බර වීමි.

එලෙසම මා ඔහුගෙන් මාගේ අවශ්‍යම ප්‍රශ්නය ඇසීය. ඒ ගාමිණී පොන්සේකාව දන්නවාද කියාය . බන්ධු කිවේ එවන් කෙනෙක් ගැනතමා නොදන්නා බවය. එහෙත් ඔහු එතන සිටි බන්දුගේ මාමා ගෙනුත්,සේනගෙනුත්, රෙන්ගා ගෙනුත් ඇසීය. ඔවුනුත් කීවේ ගාමිණි ෆොන්සේකා යනු කෙනෙක් ගැන දන්නැති බවය. බන්දුගේ පෙම්වතිය වූ කුමාරිගෙන්ද ගාමිණී ෆොන්සේකා ගැන ඇසුවිට ඇය මුහුණ ඇඹුල් කරගෙන කීවේ එවන් කෙනෙක් ගැන නොදන්නා බවය. බන්දු ඉස්සරහා ලකුණු දාගැනිමටදෝ, බන්දු හැරෙන්නට වෙන කිසිම පිරිමියෙක් ගැන දැන ගන්නට උවමනා නැති බවකි ඇය මට පෙන්වූයේ. එහෙත් රෙන්ගාත් සේනත්, බන්ධුගේ මාමාත් මට පොඩි ඉගියක් දුන්නේ ඇතැම් විට ඔය ගැන “චුට්ටේ” දන්නවා ඇති බවක්ය. එහෙත් චුට්ටෙ ලගට යාමට නම් එතරම් පහසු නොවන බවක්ද කීවෝය..

නමුත් මා චුට්ටෙ ව සොයා ගතිමි. ඒ මුඩුක්කු පේලියකය. මා යන විටත් ඔහු සරම පැත්තකින් උස්සා ගෙන කාටදෝ මහත් හඩින් චෝදනා කරමින් සිටියේ ගෝරියකට ආරාධනා කරමිනි. චුට්ටෙ මුලු පරිසරයම හොල්ලාගෙන සිටියේය. මා දුටු හැටියට කාක්කෙක් වත් චුට්ටෙගේ ඔලුව උඩින් පියාඹුවේ නම් නැත. චුට්ටෙ නිතරම පැටලෙන්නේ යුක්තිය, සාධාරනය උදෙසා, බව එතැන සිටි අයෙක් මට කීය. චුට්ටෙ නම් දේහධාරි පරිපූර්න පුද්ගලයාගේ ජවය මුඩුක්කු පරිසරය පුරාම විහිදි තිබුනි. බන්ධුගේ අය කීවාක් මෙන්, ඔහුට කිට්ටු වීමට නම් භයක් දැනුනි.ඔහුගේ ගෝරනාඩුව ටිකක් නැවතුනු පසු මා හෙමීට ඔහුට කිට්ටු කලෙමි. ඔහුගේ අචාරශීලත්වයක් නම් තිබුනේම නැත. තනිකරම තිබුනේ අයි ආර් සී ලෙවල් එකය. මා දිහා බැලුවේද එලෙසය. එහෙත් මා ඔහු සමග සුහද විය.

අවසානයේ ඔහු මට මුඩුක්කුවේ තිබූ පෙට්ටිකඩෙන්, වඩේ සමග ප්ලෙන් ටී වීදුරුවක්ද අරන් දෙන්නට තරම් සුහද විය. ඒ අතරේ මා මගේ ප්‍රශ්නය ඇසුවෙම් එ් ගාමිණී පොන්සේකා ගැන දන්නවාද කියාය. චුට්ටෙ එකවරම උත්තර දුන්නේ නැත. ඔහු ටිකක් කල්පනා කර කීවේ එහෙම පොරක් මේ ඒරියල් එකෙත් , අයි අර් සී ලිස්ට් එක‍ෙත් නැත කියාය. ගාමිණී පොන්සේකා කියා කෙනෙක් හදුනනවාදැයි කියා ඇසූ විට චුට්ටෙ නක්කල් හිනාවක් දා කීවෙි, මිනිහා වැඩ්ඩෙක් නෙමෙයි වෙන්න ඇති, නැත්නම් අනිවාරයෙන්ම මට මීටර් වෙනවා කියාය. චුට්ටේ වත් හදුනන්නැති මේ ගාමිණී ෆොන්සේකා ව සොයා ගන්නේ කෙසේද.? හරි ගැටළු සහගත ප්‍රශ්නයකටය මා මැදිහත් වුයේ.

ප්‍රැන්සිස් පසුපස මට යන්නට සිදුවූයේ ඉන්පසුවය. ඔහු සිටියේ වැල්ලේය. ප්‍රැන්සිස් යනු නිකම්ම නිකං ධීවරයෙක් නොව, අයුක්තියට, අසාධාරනයට වහා කිපෙන පුද්ගලයෙකි.ඔහු වැල්ල තුල අසාධාරණයෙන් ඒකාධිකාරය පවත්වාගෙන යන මුදලාලිකරනයට විරුද්ධව ඉදිරිපත් වන, ක්‍රියාශීලි ,කඩවසම් තරුණයෙකි. ඔහු පෙම් කලේ වැල්ලේ රූමත් ධීවරියක් වූ කටකාර රොසලින්ටය. ඇයට පිරිමින් පෙන්නන්නට බැරිය. එහෙත් ප්‍රැන්සිස් පිස්සු වැටි වැටි රොසලින් පසු පසම යයි. ප්‍රැන්සිස්ව මා අල්ලා ගත්තේ, තැපැල් කරුවෙකු ගෙන ආ ඡායාරූපයක් බලමින් සිංදුවක් කියමින් සිටින විටය රොසලින් මාලු කූරියන් දෙදෙනෙකු අතින් ගෙන බෝට්ටුවක් ලග ගත් ඡායාරූපයකි එය.

ඔහු ගීතය ගයා නිම කරන තෙක් සිට මා ඔහුට කිට්ටු කළෙමි. ඔහුගේ සිත් ඇද ගන්නට මෙන් ඡායාරූපයේ සිටි රොසලින් ගැන පෙන්වමින් ඇයගේ රූප ශෝභාව අගය කළෙමි. ප්‍රැන්සිස් එයින් උද්දාමනයට පත් වුනි. ඔහු රොසලින්ව වර්නා කලේ හරියට ලෝකෙම සිටින රූප සුන්දරිය ලෙසය. අප එකිනෙකා කුලුපග වූ පසු මා ගාමිණී පොන්සේකා ව සොයා දීමට හැකිවෙවිදැයි ඔහුගෙන් විමසුවෙමි. ඔහු මාලු හිනාවක් දමා, එහෙම කෙනෙක් මෙි වැල්ලෙ නැතැයි කීය. එලෙසම, වැල්ලෙ ප්‍රැන්සිස් ඇරෙන්න වෙන වැඩ්ඩෙක් නැති බවත්, ප්‍රැන්සිස්ට චැලෙන්ජ් කරන්න කව්රුත් වැල්ලෙන් බිහි වෙන්නේ නැති බවක් කීය.

දැන් නම් වැඩේ කුරුවල් කියා සිතුනද, අත්හරින්නට නම් මට සිතුනේ නැත. අනිවාරයෙන්ම බොනි මහත්තයා ලග මෙයට උත්තරේ තිබෙන්නට පුලුවන. මා බොනි මහත්තයාව හමුවන්නට යන විට, ඔහු ස්ත්‍රියක් ලග තබා ගෙන, මධු මීවිත තොල ගාමින්, සංගීත කරුවන් ගෙන්වා ගෙන ගීත අසමින් සිටියේය. මේකනෙ නියම ආතල් එක කියා සිතමින් මා ඔහු ලගින් වාඩිවුනෙමි . ඔහු අනුරාගයෙන්ද,සුරාවෙන්ද, ගීතයෙන්ද, මත්වී සිටියේය. ඔහු මටද සුරාවට ආරධනා කලද, මා කරුණාවෙන් එය ප්‍රතික්ෂේප කලෙමි. ගීතය නිමාවු පසුද ඔහු ඒ හැගීම් වලම එල්බ ගෙන සිටියේය.

බොනි මහත්තයා යනු මොන තරම් රසවතෙක්දැයි මට ප්‍රත්‍යක්ෂ විය. එය හරියට ඔමාර් ක්‍යයම් ගේ දර්ශනය වූ ස්ත්‍රිය, සුරාව, සංගීතය වැනිය. ඔහු සමග ඇතිවූ සංවාදය තුලින් ඔහු ඉහල රසඥතාවයක් ඇත්තෙක් බවත්, මොන තරම්, බලය, මුදල් තිබුනද, හදවත තුලින් තනිකම නිසා වේදනා විදින බවක්ද දැනුනි. අප සංවාදය අතර මග ගාමිණී පොන්සේකාව හදුනනවාදැයි මා ඇසීය. ඔහු සුළු වෙලාවක් කල්පනා කර මාගෙන් විමසුවේ ඔය කියන ගාමිණී තමා වගේ රසවතෙක්ද කියාය. එහෙත් ඔහු ළඟ සිටින රසවතුන් සියල්ල අතරේ එවන් නමක් නැති බව ඔහු අවධාරණය කළේය. බොනී මහත්තයා ළගට නොඑන කව්රු හෝ වේවා, ඔවුන් රසවතුන් නොවේ යැයි ඔහු කීය. එයින් ගම්‍ය වූයේ බොනි මහත්තයත් ගාමිණී පොන්සේකාව හදුනන්නේ නැති බවය.

පොලිස් පරික්ෂක වික්‍රම රන්දෙනියවද මා සොයා ගියෙමි. ඒ වන විට ඔහු විශාල කලබගෑනියකට, මැදිවී සිටියේය. ඒ ගෝරිං නම් සුප්‍රසිද්ධ , පතාල නායකයෙකු තම බිරිදව පැහැර ගෙන ගිය නිසාය. පතාල නායකයා හා වික්‍රම රන්දෙනිය අතර, රාජකාරි මට්ටමෙ ගනුදෙනුවකට වඩා පෞද්ගලීක කෝ්න්තරයක් තිබෙන බවක් මට වැටහුනි. ඒ ගෝරිංගේ සොහොයුරියව වික්‍රම රන්දෙනිය විසින් අනාථ කල පසුව ඇය දිවිනසාගන්නා සිද්ධියය. ගෝරිංගේ පලිගැනීමේ චේතනාව එය විය. වික්‍රම රන්දෙනියද එයට අභීතව මුහුන දෙන්නට යන අවස්ථාවෙදිය මා කීවේ ගාමිණී පොන්සේකා වත් එකතු කර ගත්තා නම් හොදය කියාය. එවිට පොලිස් පරික්ෂක , වික්‍රම රන්දෙනිය මාගෙන් ඇසුවේ, කව්ද ගාමිණී කියන්නෙ එයත් හොදවැඩ කාරයෙක්දැයි කියාය.එතනිනුත් හැගුනේ වික්‍රම රන්දෙනියත් ගාමිණී ව නොහදුනන බවය

විලී අබේනායක තරමක් සට කපට ගූඨ වංශාධිපතියෙකි . ගාමිණි ෆොන්සේකා අනිවාර්යෙන්ම මෙවන් ප්‍රභූ මිනිසුන් සමග ආශ්‍රය කරන බවක් මා අසා තිබුණි. අපහසුම කාරණය විලී අබේනායක ලගට යාමය. හේ එතරම් උද්ධච්ච මිනිසෙකි . ඔහු වංශාධිපතියෙක් වුවද දැන් ‘රීම්’ එකෙන් යන බවක් පසුව මට ආරංචි විය. ඒ ඔහු ණය බරින් මිරිකෙමින් සිටින හෙයිනි. එහෙයින් ඔහුගේ රැස් බැස ඇතැයි සිතු නිසා මා ඔහු හමුවීමට ගොස් ගාමිණී ෆොන්සේකාව සොයා දෙන ලෙස කීය. ඔහු මා දෙස රෞද්‍ර බැල්මක් හෙලා ඔහු දන්නේ වංශාධිපතියන් පමණක් බවත් සාමාන්‍ය මිනිසුන් සමග සම්බන්ධයක් නැති බවක් කීය. ඔය කියන ගාමිණී ෆොන්සේකා සාමාන්‍ය මිනිසෙක් විය හැකි බවත් එවන් අය ගැන අසා ඔහුගේ කාලය කා නොදමන ලෙස තරමක් උස් හඩින් මට කීය. පුස්කොල පොතක සදහන් වූ වස්තුවක් පසුපස ගිය ඔහු , එම වස්තුව තිබෙන ගල් දොරටුව හැරගන්නට තම බිරිදව බිලි දුන්නද, ඒ සියල්ල ව්‍යාවර්ත වූ පසු ,විලී අබේනායක නම් ප්‍රථාපවත් වංශාධිපතියා ගෙල වැල ලා මිය ගිය බවක් මට පසුව ආරංචි විය.

ඔහු ගැන දන්නා කව්රු හෝ ඇත. ඔහු සිටිනා තැන කිසිවෙක් හෝ දැන සිටිය යුතුය මා මගේ ගවේෂණය නතර කිරීමට කැමති වුයේ නැත. මා, මානමූලව,-ජයසේනව,අදිරියන්ව,ජේම්ස් බණ්ඩාව ,වීරා ව, රිකීව ,කමල්ව, ප්‍රියන්තව,මනුවල්ව, ධාරාව, ධම්මේව, සුමනදාස නොහොත් යකඩයාව, සෙබස්තියන් කතෝලික පූජක තුමාව, නලින්ව, රවී රණරාජාව, දොස්තර මොලදන්ඩව,ෆෙඩ්රික් රාමනායකව,බයිසව,මෛත්‍රීව ,නඩරාජාව,සංඛව ,සොයා ගොස් ඇසීය. එහෙත් ඒ කිසිවෙක් ගාමිණී ෆොන්සේකා සිටින තැන තියා ,ගාමිණී ෆොන්සේකා යනු කව්දැයි කියාවත් දන සිටියේ නැත,

අවසානයේදී මා බකට් හැරිගෙන් හා කර්නල් රණබාහු ගෙන්ද ගාමිණී ෆොන්සේකාව සොයා දිය හැකිදැයි ඇසිය. එහෙත් ඔවුන්ගේ පිලිතුරද වුයේ එහෙම පුද්ගලයෙක් නොදනී යනුය. අපේක්ෂභංගත්වයෙන් නැවත හැරුණු මට හදිසියේම මෙසේ සිතුනි . මේ ගාමිණි ෆොන්සේකා යනු අර හැම පුද්ගලයන්මද??

-ශෝන් මැක්ස්මස් දිසානායක –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *