Oscar රාත්‍රිය අද. ලංකාවට හෙට.

ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් උළෙල අද එනම් 24 රාත්‍රියේ ලොස් ඇන්ජලිස් නුවර ඩොල්බි ශාලාවේදී පැවැත්වෙනවා. ඒ අනුව ලාංකික ඔස්කාර් ලෝලීන්ට ඔස්කාර් හි අලුත්ම තතු දැනගන්නට ලැබෙන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් 25 වනදා උදෑසන වන විටයි.

මෙවර 91 වන ඔස්කාර් උළෙලට වැඩිම ප්‍රසිද්දියක් ලැබුනේ සම්මාන සඳහා වූ නිර්දේශ ලැයිස්තුව නිසා නෙවෙයි. ඒ වෙන කාරණයක් නෙවෙයි මෙවර ඔස්කාර් උළෙලේ සජීවී රූපවාහිනී විකාශය අඩු කිරීමට ගත් තීරණයෙන් හොඳම කැමරාකරණය , හොඳම සංස්කරණය ඇතුලු සිනමාවට අත්‍යවශ්‍ය අංග තිබෙන සම්මාන සජීවී විකාශයෙන් ඉවත් කිරීමට ගත් තීරණය නිසා.

කෙසේ නමුත් එම තීරණය ආපස්සට ගැනීමට ඇකඩමිය තීරණය කොට තිබෙනවා. හේතුව එම තීරණයට සිනමා කර්මාන්තයෙන්ම විවේචන එල්ල වූ නිසා. එම විවේචන සමාජ මාධ්‍ය ජාල වල වැඩියෙන් ප්‍රචාරය වුනා. කෙසේ වුවත් එම සම්මාන බෙදා දීම සජීවී විකාශයෙන් කපා හැර වෙළඳ විරාම අතරතුර බෙදා දී පසු වේලාවක ඒවා නැවත විකාශය කිරීමටයි ඇකඩමිය තීරණය කළේ. එමගින් උළෙලේ සංවිධායකයන් උපකල්පනය කළේ දිගින් දිගටම ඇදෙන සජීවී විකාශනය පැය 3කට සීමා කර ගැනීමයි. ඒ සඳහා උළෙලේ තවත් කප්පාදු කිරීම් රාශියක්ද සිදු කොට තිබුනා.

මීට පෙර වසර වල පැය 3 1/2 කට අධික කාලයක් සජීවී විකාශය දිගු වූ අතර මෙවර සම්මාන කප්පාදුව ඒ ආකාරයෙන්ම සිදු කිරීමට නොහැකි වූ නිසා පැය 3කට ආසන්න කාලයක් වත් සම්මාන උළෙල විකාශනය වනු ඇතැයි සංවිධායක මණ්ඩලය විශ්වාස කරනවා. එමෙන්ම මෙවර නිතර නිතර ඉදිරිපත් කරන්නන් හෙවත් පූරකයන් මාරු කිරීමද නවතා දමන්නේ කාලය කෙටි කිරීමට එය හේතු වන නිසයි. කෙසේ වුවත් මාර්ටින් ස්කොර්සර්සේ ආදී ප්‍රවීණයන් දිගින් දිගටම කිව්වේ වෙළඳ විරාම අතරේ සම්මාන බෙදා දීම නුසුදුසු වන්නේ වෙළඳ විරාම අතරේ ප්‍රේක්ෂකයන් නිවසේ සිට ‘වෙනත් වැඩ’ කරන නිසා එයින් සම්මාන ලාභීන්ට අගතියක් වන බවයි.

2017 වසරේ සජීවී විකාශය හරහා ලොව පුරා ප්‍රේක්ෂකයන් මිලියන 32.9 ක් එක් වී ඇතැයි දත්ත වාර්තා ලැබුනත් 2018 වසරේ ලැබෙන්නේ ඊට වඩා දුර්වල වූ දත්ත වාර්තාවක්. ඒ මිලියන 26.5 ක් ලෙසිනි. ඒ අනුව මෙසේ ප්‍රේක්ෂකයන් ඔස්කාර් උළෙලින් ඈත් වීමට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් හේතු 2ක් හඳුනා ගත්තා. එකක් නම් දීර්ඝ සජීවී විකාශය. අනෙක නම් හොලිවුඩයේ ‘බ්ලොක්බස්ටර්’ චිත්‍රපට ප්‍රධාන සම්මාන ඛාණ්ඩ සඳහා අඩුවෙන් නිර්දේශ වීම. එම හේතුවටත් පිලියමක් ලෙස සංවිධායකයින් කළේ හොඳම බ්ලොක්බස්ටර් චිත්‍රපටය සඳහා අලුත් සම්මානයක් යෝජනා කිරීමයි. නමුත් මෙම වසරේ එය ක්‍රියාත්මක වුනේ නැහැ.

ඔස්කාර් උළෙල ලංකාවේ වේලාවෙන් 25 සඳුදා උදෑසන 6.30 සිට සජීවීව විකාශය වෙනවා.

සම්මාන නිර්දේශ මෙතැනින් බලන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *