හොටු පෙරන්නේ නැති ‘තාල’

‘තාල’ පාලිත පෙරේරාගෙ පළමුවෙනි සිනමා අත්දැකීම කියලයි ඔහු කියලා තිබුනේ. ඒත්,මට නම්,”තාල” කියන්නේ ජීවිතයේ රිද්මය කැමරාවට ගොනු කරපු අපූරු සිනමා සිත්තමක්. පළමු හෝ අවසාන නිර්මාණය කියන කාරණය හැරුණම මම “තාල” එක්ක බැඳෙන්න හේතු බොහොමයක් තියෙනවා. පහුගිය කාලෙ මම මගේ දියණිය නිසාම ඉංග්‍රීසි චිත්‍රපටයි බැලුවෙ. ඉඳල ඉඳල අනුරුද්ධ ජයසිංහගේ ‘ගින්නෙන් උපන් සීතල’ බැලුවා. ඒ මොහොත වෙනකල් රෝහණ විජේවීර කියන චරිතය පිළිබඳව මට තිබුනෙ ලොකු චිත්‍රයක්. ඒ ලංකාවෙ කැරළිකාරයා. ඒ ලංකාවෙ චේ කියන හැගීම අසූ රියනකට ටිකක් අඩුවෙන්, වැඩියෙන් හිතේ තිබුනු කාලයක් මටත් තිබුනා. JVP මතවාදය එක්ක කිසිම පයුරු පාසානමක් මට කවදාවත් තිබුනෙ නැතත් විජේවීර කියන චරිතය පිළිබඳව මගෙ හිතේ තිබුනු බර හැඟීම තුනී කරලා දීම වෙනුවෙන් අනුරුද්ධ ජයසිංහට මගෙ ප්‍රණාමය පුදනවා.

JRගෙ ආණ්ඩුවේ ගොදුරක් වුනු විජේවීර පිළිබඳ ලොකු මතකය පවා අනුරුද්ධගෙ සිනමා කාර්ය විසින් අගුටුමිට්ටෙක් බවට පත් කෙරුවා. ඒ හැරුනම ගින්නෙන් උපන් සීතල ලස්සන ප්‍රොඩක්ශන් එකක්. ආර්ට් ඩිරෙක්ශන්,ලයිටින්,කැමරා,මියුසික් හරිම සිත්ගන්නා සුලුයි. ඒත් JVP එකට වාගෙම ෆිල්ම් එකටත් හොඳ පිටපතක් නැතිවීම නිසාම,දැක්ම ගිලිහිලා තියෙන්නේ ඉබේමයි.(එහෙම නැත්නම් දැක්මක් නැති නිසාම හොද පිටපතක් ලියන්න බැරි වුනා වෙන්නත් පුලුවන්) එහෙව් අවස්ථාවක පාලිත පෙරේරා “තාල” එක්ක අහස උසට වැඩක් කරලා හිතේ පැලපදියම් වුනා.

ලංකාවෙ අධ්‍යාපනය කියන්නේ හෙට දවසේ නෙවෙයි ඊයේ පෙරේදා ඉඳලම බරපතල අර්බුදයක්. අද සමාජයේ පවතින කුලල් කා ගැනීම්, කුහකකම, වංචාව , ඊර්ෂ්‍යාව,නොනිමි තරඟය මේ ඔක්කොම පදනම් වෙන්නෙ, සාරධර්ම නැති මිනිසුන් නිර්මාණය කරන කල්ලතෝනි අධ්‍යාපනය නිසයි. රටේ මිනිස්සුන්ගෙ ය අභාග්‍යට මේ රටට නිසි නායකත්වයක් පත්වෙන්නෙ නෑ. ඒ හින්දම දේශපාලනයට එන මිනිස්සුත් තමන්ගේ අනාගතය හදනවා මිසක් රටේ අනාගතය හදන්න හිතන්නෙවත් නෑ. ඒ වාගෙ කාලකණ්ණි තත්ත්වයන් ගැන කතිකාවන් ඇති වෙනකල් මේ රටේ සමාජ ,ආර්ථික ප්‍රශ්න නිරාකරණය කරන්න කාගෙවත් අවධානයක්වත් යොමුවෙන්නෙ නෑ.

අවුරුදු 30ක් යුද්ධයක් තිබුනු රටක මිනිස්සු, නිර්මාණකරුවො අද නැවත යුද්ධයක් ඇතිවීම වලකාලීමට සැලකිය යුතු දායකත්වයක් දෙන්නෙ නෑ. ෆිල්ම් එකක් හැදුවත් හදන්නෙ, සිංහල මිනිස්සු යුද්ධයක් කෙරුවා කියන මානසිකත්වය ඉස්මතු කරලා ජාත්‍යන්තර සම්මාන ඩැහැගන්නයි. ඒ වාගෙ අසංවේදී මිනිසුන් නිර්මාණ කාර්යයට යොමු වුනු කාලෙක,පාලිත පෙරේරා “තාල” එක්ක කල එළි බහින්නෙ බොහොම බරපතල අර්බුදයක් ගැන සංවේදී කතිකාවක් එක්ක. “තාල ” කියන්නේ ජීවිතයේ රිද්මයට අභියෝග කරන සමස්ථ ප්‍රජාවට අභියෝග කරන චිත්‍රපටයක්. පාසැල කොයිතරම් සුන්දර අත්දැකීමක්ද? ඒත් බොහොමයක් දරුවො තිත්ත බේත් බොනවා වාගෙ ඉගෙනීමේ කාර්යයෙන් ඉවතට ගමන් කරන රටක මිනිස්සු අපි. අන්තිමට ත්‍රීවීලර් එකක් පදවන තාරුණ්‍යකට,ගාමන්ට් යන යෞවනියකගේ ඉරණමට වැඩි යමක් ලංකාවෙ දරුවන්ට ඉතුරු වෙන එකක් නෑ.

පාලිත මේ ප්ලොට් එක ඉදිරිපත් කරන්නෙ හොටු පෙරාගෙන ,දැලිකුණු නාගෙන දුප්පත්කමේ පතුල ලෙවකාගෙන නෙවෙයි. ඒ හැම රූප රාමුවකම තිබුනා හදවත සතපවන බලාපොරොත්තුවක්. ළෙන්ගතු හුස්මකට ඇරයුම් කරපු හදගැස්මක්. ආර්ට් එකක්. නිදන් කතාව පාලිත වට්ටෝරුවට ඇදගෙන ගියා. ඒත්, පාලිත ,ඒ වට්ටෝරුවෙන් නාන්නෙ නැතිව, මඩේ එරුනෙ නැතිව ඉවුරෙ නැවතුනා. කාස්ටින්,කොස්ටියුම්, මියුසික්, ඩාන්සින් පර්ෆෙක්ට් නොකියා කොහොමද? පෙර පුහුණුවීම් ඉතාම සියුම් විදියට ක්‍රමවත්ව සිදු කරන්න ඇති කියලා දැනෙනවා.වෙන එකක් තියා රිහර්සල් පවා ශූට් කරන්න ඇති කියලා මට හිතෙනවා. හේමාල් ගැන නම් කතා නොකරම බෑ.ඔහු ලංකාවෙ මීළග විජය.(මට පුද්ගලිකව වෙන විජය කෙනෙක් ඕනෙ නෑ. ඒත්,හේමාල්ව අගය කරන්න මේ මොහොතේ වෙන සුදුසු විදියක් මට නෑ.) ප්‍රියන්ත සිරිකුමාර වාගෙ කෘතහස්ත වේශනිරූපණ ශිල්පියෙක් නලුවෙකු හැටියට ගින්නෙන් උපන් සීතල තුළිනුත් මගේ දෙනෙත් සතුටින් පොලා පැන්නුවා. ආයෙම “තාල” එක්කත් ප්‍රියන්ත සිරිකුමාර අර කුඩුකේඩු ගුරාගෙ චරිතය තුළ ජීවත් වුනා දැනුනා.(ආදරෙයි සිරෝ, උඹ තුළ ඉන්න චරිතාංග නලුවට)

නලින්ද ප්‍රේමරත්න ,චන්න දේශප්‍රිය වාගෙ අපූර්ව මිනිසුන්ගේ දායකත්වය නිසැකවම පාලිතට ආලෝකය සපයා ඇති බව පැහැදිලිව පේනවා. නදී කම්මැල්ලවීරගෙ පිටපතේ දායකත්වයත් සොදුරු සඳ එළියක්මයි. අන්තිමට පාලිත පෙරේරා “තාල” කියලා අපිට අපේම ජීවිතයේ රිද්මයට අභියෝග කරන රටක ජීවිතය ආලෝකමත් කරගන්න කරන ආරාධනය මගේ හදවත සසල කළා මොහොතකට.පොඩි එවුන්ගෙ බෑන්ඩ් ෂෝ එක මට තවමත් අනුන් වෙනුවෙන්, අනුන්ගේ සතුට වෙනුවෙන් අඬන්න පුලුවන් කියලා මටම මතක් කරලා දුන්නා. ඔව්,තාල කියන්නේ මට අනුව,කාලෙකින් සිංහල සිනමාවෙදි පපුව පිරෙන්න හුස්මක් අරන් බලන්න පුලුවන් වුනු අපූරු ෆිල්ම් එකක්.

-කවින්ද්‍යා ජයසේකර-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *