විජය ගාමිණි වැඳ වැටෙයි

( වෛද්‍ය අනිල් සමරනායක විසින් රචනා කරමින් පවතින ‘ රිදී රැයෙන් මද්දහනට’ සිනමාත්මක ස්වයං චරිතාපදානයෙන් එක් රසවත් පරිච්ඡේදයක් )

මෙතෙක් නිෂ්පාදිත සිංහල චිත්‍රපට රීල්ස් අඩංගු කෑන්ස් සියල්ලම කිසියම් තැනක ගිනි ගනිමින් ඇත්නම්, සහ එයින් මට බේරාගන්නට හැකි එකම චිත්‍රපටයක් පමණක් නම්, මා ඒ අවස්ථාවේ ගින්නෙන් මුදාගන්නේ “ ආත්ම පූජා” චිත්‍රපටයයි.


ආත්ම පූජා

මේ රීල්ස් ගිනිගැනීමේ සිද්දිය මගේ මනසේ ප්‍රාදූර්භූත වූවක් පමණක් නොව, සැබවින්ම මින් අවුරුදු 35 ට පෙර මේ ලක් පොළොව මත සිදුවූ අතිමහත් ඛේදවාචකයක් බව බොහෝ දෙනා නොදනිති.

1983 ජාතිවාදී කලබලය අවස්ථාවේ වත්තල විජය ස්ටුඩියෝව ගිනිතැබූ අතර අපේ සිනමාවේ මුල්කාලයේ බිහිවූ අති සාර්ථක සිනමා කෘතීන් හී සෙලියුලොයිඩ් පට රීල්ස් සියල්ල එකගොඩට ගිනි ගන්නට විය. එය දැනගත් ගාමිණී ෆොන්සේකාත් විජය කුමාරතුංගත් එතැනට පැමිණ ඊනියා ජාතිවාදී මැරයන්ගෙන් කෙතෙක් ඉල්ලා සිටියද ඔවුන් ඒවා බේරාගැනීමට ඉඩ නොදුන් හ. විජය මැරයන්ට සිය දෑත් ඔසවා වැඳ ඉල්ලා සිටි විට ඔවුන් එතැනින් පිටත්ව ගිය අතර ඉතිරිව තිබූ රීල් සහිත පෙට්ටි විවෘත කලවිට ඔවුනට දක්නට ලැබුනේ නොදැවී ඉතිරිව තිබුණද අධික රශ්මිය හේතුවෙන් ඒවා තුල තිබූ අගනා චිත්‍රපට රීල්ස් සහමුලින්ම වැනසී තිබෙනු දුටු ගාමිණීට සහ විජයට ඇතිවූ ශෝකය අපමණ විය.

සිනමාස් සමාගම නිපදවූ අතිශයින් ජනප්‍රිය වූ චිත්‍රපට අතුරින් එම්.මස්තාන් අධ්‍යක්ෂණය කළ අවසන් කෘතිය වූ ‘ආත්ම පූජා’ චිත්‍රපටයේද සියලු රීල්ස් ‘83 ජාතිවාදී ගින්නෙන්’ දැවී ගියේ ඒ පිළිබඳ අපමණ රසාස්වාදනීය මතකයන් පමණක් ඉතිරි කරමිනි. ප්‍රංශ ලේඛක ඇලෙක්සැන්ඩර් ඩූමා ගේ ලෝක පූජිත ‘ කෝර්සිකන් බ්‍රදර්ස්’ නවකතාව ඇසුරෙන් තැනුණු ‘ආත්ම පූජා’ ගාමිණී ෆොන්සේකා ගේ සුවිශිෂ්ටතම ‘ද්විත්ව චරිත’ නිරූපණය විය. එමෙන්ම යුරෝපීය ඓතිහාසික පසුබිමක් සහිතව තැනුණු එකම ස්වදේශීය සිනමාපටයද එයම පමණි.

ආසන්න කුඩා යුරෝපීය රාජ්‍ය දෙකක රජ පවුලක කතාවක් වූ මෙහි සොලමන් සිගේරා [ සේනාදීර රූපසිංහ ] රජුගේ බිසවට සිරුරෙන් යාව දෙබිඩි දරුවන් ( Conjoint Twins ) උපදී. සැත්කමකින් ඔවුන් වෙන්කරන්නට රාජකීය වෛද්‍යවරයා සමත්වෙයි. එදිනම අසල්වැසි රාජ්‍යයේ මාකස් අල්මේදා [ එච්. ඩී. කුලතුංග ]රජු මාලිගය ආක්‍රමණය කිරීම හේතුවෙන් එක් දරුවෙකු හිතවත් සෙබලෙකු [ ඇල්ෆ්රඩ් එදිරිමාන්න ] සමග පිටත් කරවන අතර අනෙක් දරුවා වෛද්‍යවරයා රැගෙන යයි. තරුණවියට පත්වන වනයේ සැදෙන ‘ජෙරී’ හා නගරයේ හැදෙන ‘හෙන්රි’ යන චරිත දෙකම ගාමිණී විසින්ම නිරූපණය කරන අයුරු සිනමා රංගනය පිළිබඳව පාඨමාලාවක් වැනිය.

වනයේ හැදෙන ජෙරී වියයුතු ලෙසම වඩාත් රණකාමී නිර්භීත තරුණයකු වන අතර නගරයේ ධනවත් සමාජයේ හැදෙන හෙන්රි රණශූරයකු වුවත් සමාජ චාරිත්‍ර අගයන තරුණයෙකි. මේ දෙදෙනා සොහොයුරන් බව එකිනෙකා නොදන්නා අතර ගැටුම ඇතිවන්නේ දෙදෙනාම ඩොරීන් නම් ධනවත් තරුණියට [ ක්ලැරිස් ද සිල්වා ගේ අවසන් ප්‍රධාන සිනමා චරිත නිරූපණය] ආලය කිරීමත් සමගය.


ක්ලැරිස් ද සිල්වා

එමෙන්ම උපතින් දෙබිඩි සොහොයුරන් වූ හෙන්රි හට දැනෙන දුක, ශෝකය, වේදනාව ජෙරීට ඒ ඒ අවස්ථාවන් හිදී එලෙසම දැනෙයි. එසේ වුවද ජෙරී හට දැනෙන එම සංවේදනයන් එලෙස හෙන්රිට හට නොදැනීම ගැටලුව තවත් සංකීර්ණ කරයි. තමාට සැබෑ ලෙස අත්විඳීමට නොලැබෙන සංවේදනයන් තමාට දැනෙන ලෙස රඟපෑමේ අභියෝගය මේ චරිතය රගපෑ ගාමිණීට ම මිස වෙනත් කිසිදු නලුවෙකුට අපේ සිනමාවේ ලැබී නැත.

එමෙන්ම තමාගේම අනෙක් චරිතය සමග කඩු සටන් කරන්නට ද ගාමිණීට මෙහිදී සිදුවිය. ශාරුක් ඛාන් ලා Fan චිත්‍රපටයේ මේවා කරන්නට වසර 50 කට පෙර 1969 දී ගාමිණී ෆොන්සේකා ඒ දස්කම කල බව ලෝක සිනමා ඉතිහාසයට එකතු විය යුතුය.

-අනිල් සමරනායක-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *