හොඳම shot එක

සමස්ථ සිංහල සිනමා ඉතිහාසයෙන් එහි ආ සුවිශිෂ්ටතම තනි රූපරාමුව කුමක්දැයි කිසිවෙකු මගෙන් විමසුවහොත් මවිසින් නිසැකවම තෝරාගනු ලබන්නේ ගාමිණී ෆොන්සේකාගේ පළමු සිනමා නිර්මාණයවූ ‘පරසතුමල්‘ හි මේ පියගැටපෙළෙහි දර්ශනයයි.

ගම්පහ ප්‍රදේශයට තදින්ම සබැඳුණු කලාකරුවන්වූ හග්ගල්ලේ පී.කේ.ඩී. සෙනෙවිරත්න තිර රචනා කල, මහගමසේකරයන් ගී ලිවූ , ලයනල් අල්ගමයන් සංගීතවත් කල , ගම්පහ චිත්‍රා බාලසූරිය විසින් නිපදවූ , මීරිගම උපන් පුණ්‍යා හීන්දෙණිය රඟපෑ ‘පරසතුමල් ‘ ගාමිණී විසින් හැඳින්වූයේ සිය මෑණියන් උපන් ‘ සියනෑ කෝරළයේම ‘ චිත්‍රපටයක් බවටයි.

එහි රූගත කිරීම් සිදුකලේ ගම්පහ ‘අග්‍රා’ වලව්වෙහි හා ඒ හා අතිශයින් සමාන ගෘහ නිර්මාණයෙන් යුක්ත වූ ගණේමුල්ල කැන්දලියද්දපාලුවෙහි ‘ජයකොඩි වලව්වෙ’ හිය. මේ පෙදෙස්හි උපන් මට මේ ස්ථාන දෙකටම සබැඳියාවක් තිබිණි. උදාහරණයක් ලෙස1980 දශකයේ මුල මහර අතුරු මැතිවරණයට කමලවර්ණ ජයකොඩි හාමු මහත්මයා නාම යෝජනා දෙන්නට යන දින උදෑසන ජයකොඩි වලව්වෙන් කැවුම්, කිරිබත් කා වාහනවල නැගුණු නව යොවුන් අපි ජය කොඩි ලෙලවමින් ආවේ ගම්පහ නගරයේ ‘අග්‍රා වලව්ව’ වෙතයි.

[එහිදී අනෙක්පසින් නාම යෝජනා දීමට ආ විජය කුමාරතුංගයන් ගේ පෞරුෂ ලීලාව ට විජයාකර්ශණය වූ අපි එහිදි ඔල්වරසන් දෙමින් ඔහු පසුපස යාම වෙනමම සාකච්ඡා කල යුතු කරුණකි].

-ලියලා ඡායාරූපය එව්වේ අනිල් සමරනායක-

(අනිල් සමරනායක වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. එමෙන්ම සිනමා සක්විති ගාමිණි ෆොන්සේකාගේ අපදාන ග්‍රන්ථය වන ගාමිණි – ශ්‍රී ලාංකේය සමාජ ප්‍රවාහය අභිමුව හි කතෘ වරයාය. )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *