2019 දී එයිද නොඑයිද? 2 – තුන් දෙනෙක්

තුන් දෙනෙක් කියන්නේ අපේ සිනමාවේ තුන් කට්ටුවකගේ වැඩක්. තුන් කට්ටුව තමයි ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම සහ විමුක්ති ජයසුන්දර. චිත්‍රපටයට ඉංග්‍රීසි නමකුත් තියෙනවා. ඒ HER, HIM THE OTHER. දෙමළ නම තමයි ‘මූවර්’ කියන්නේ. චිත්‍රපටයට තේමා වෙන්නෙම ලංකාවට ඉතා වැදගත් පුරවැසියා එච්චරම ගණන් ගන්නේ නැති තේමාවක්. ඒ තමයි ‘සංහිඳියාව’.

යුද්ධයක් තිබුන රටකට කවමදාකවත් සංහිඳියාව නැතුව ඉදිරියට යන්න බෑ. යුද්ධයක් නැවතෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ සාමයක් ඇති වුනා කියලා. සාමය කියන්නේ ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලියේ දැති රෝදයක් තමයි සංහිඳියාව කියන්නේ. කොහොමද සැක, බය, අවිශ්වාසය වගේ විසබීජ පැල වුනු හිත් වලට සාමය ගේන්නේ. කොහොමද එකම අයිතිවාසිකම එක විදිහට තහවුරු කරන්නේ. කොහොමද අපේ වැරදි අපි පිළිගන්නේ. සංහිඳියාව කියන්නේ ඒ වගේ ක්‍රියාවලියක්. ඒක ටිකක් දිගයි. මෙතන කෙටියෙන් කියන්න අමාරුයි.

මේ චිත්‍රපටියේ මුලු දිග විනාඩි 90ක් වගේ වෙනවා. ඒ විනාඩි 90 තුන්දෙනා අතරේ බෙදෙනවා. ඒ කියන්නේ තේමා 3ක් හැටියට. HER කියන එකෙන් කතා කරන්නේ ප්‍රසන්න විතානගේ ගේ තේමාව. HIM කියන එකෙන් කතා වෙන්නේ විමුක්ති ජයසුන්දර ගේ තේමාව. අශෝක හඳගම කතා කරන තේමාව තමයි THE OTHER කියන්නේ. මේ තේමා 3ටම අදාළ පොදු කාරණය තමයි වින්දිතයාගේ තරම විවිධාකාරයි කියන එක.

කෙසේ වෙතත් චිත්‍රපටය එන්න නියමිත වෙලා තිබුනේ ගිය අවුරුද්දේ. නිෂ්පාදකයෝ බලාපොරොත්තු වුනෙත් 4.15 (හතරයි කාලේ) සිනමාවට වත් චිත්‍රපටය මුදා හරින්න. (ලංකාවේ හතරයි කාලේ සිනමාව කියන්නේ ෂෝ එකක් බලන්න අඩුවෙන්ම සෙනග එන වෙලාව. ලොකු ආකර්ෂණ නැති චිත්‍රපට දුවන්න මණ්ඩල හා ශාලා වලින් ලැබෙන්නේ මෙන්න මේ වෙලාව.) ඒකෙන් කියවෙන්නේ නැහැ චිත්‍රපටය බාලයි කියලා. නමුත් ඒක තමයි ලංකාවේ තත්වය. නමුත් අද වෙනකං චිත්‍රපටය තිරයට නම් ආවේ නැහැ.

නමුත් වැදගත් වැඩක් වුනා. චිත්‍රපටය කොළඹින් දුරස් ප්‍රදේශ වල විකල්ප තැන් සුදානම් කරගෙන පෙන්නුවා. සාමාන්‍ය ජනතාව ඒක යම් මට්ටමකින් බැලුවා. ප්‍රතිචාර සංවාදයට බඳුන් වුනා. නමුත් වැඩේ හිට් වෙන ප්‍රේක්ෂකාගාරයට තාම ආවේ නැහැ.

මේ අධ්‍යක්ෂක තුන් කට්ටුවට තමන්ගේ කොටසට වෙනම වැඩ කරන්න කණ්ඩායමක් හිටියා. උදාහරණයක් විදිහට කැමරාකරණයට ප්‍රසන්න වෙනුවෙන් M . D මහින්දපාලත් හඳගම වෙනුවෙන් චන්න දේශප්‍රියත් විමුක්ති වෙනුවෙන් ඊශිත් නාරායන් වැඩ කළා. ඒ වගේම තමයි අනෙක් ශිල්පීනුත්. නමුත් සම්පුර්ණ චිත්‍රපටයේ ශබ්ද සැලසුම්කරණය තපස් නායක් ගෙන්.

තුන් දෙනෙක් නිෂ්පාදනය ජාතික සමගිය හා සංහිඳියාව පිලිබඳ කාර්යාලයෙන් ඒ කියන්නේ ONUR එකෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *