කොලිවුඩයේ වැඩිම මිලක් ගන්නා.. කවුද මේ සරාගී නයන්තාරා?

දකුණු ඉන්දීය සිනමාව පුරුෂාධිපත්‍යයට යටත් වූවක්, එහි නිළියන් යනු වයින් කළ බෝනික්කයන් මෙන්ය. රසිකයාට අවශ්‍ය ගෘංගාරය, ප්‍රේමය වැනි රසයන් ඉස්මතු කිරීමට පමණයි භාවිතා වූයේ. වීර කාව්‍යවල එහි තත්ත්වය වෙනස් විය. නැතිනම් පවුල් කතාවක් නොයෙකුත් දුක් කම්කටොලු මැද්දේ ජීවත් වන කාන්තා චරිතයකට පණ පෙවීමට නිළියන් භාවිතා කරන්නට විය. වර්තමානයෙත් එහි කිසිදු වෙනසක් නොමැත. චිත්‍රපටියේ නළුවා සමඟ එහෙ මෙහෙ ඇවිදීමටයි, ගසක් වටේ නටමින් යුග ගීයකට නර්තනයේ යෙදීමට පමණක් නිළියන් භාවිතා වන අවස්ථාද නැතිවම නොවේ. නමුත් වර්තමානයේ මෙම තත්ත්වය හාත්පසින්ම වෙනස් කළ නිළියක් ලෙස ලෙස මරියම් කූරීයන් හඳුන්වා දිය හැක.

1984 නොවැම්බර් 18 වන දින බැංගලෝරයේ දී උපත ලබන ඇය අයත් වන්නේ රදල පැලැන්තියකටයි. ඇයගේ පියා ගුවන් හමුදා නිලධාරියෙකි. ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල තම ඉගෙනීම් කටයුතු කළ ඇය ඉංග්‍රීසි සාහිත්‍ය උපාධිධාරිනියක් ද වනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපන හදාරන සමයේ ඇය විලාසිතා නිරූපිණියක් ලෙස කටයුතු කරමින් සිටියා. 2003 වර්ෂයේ දී තම කුළුදුල් සිනමා රංගනයට එක්වන මරියම්ට, තාරකාවක් මෙන් වූ නේත්‍ර යුගලයක් පිහිටා ඇති නිසා වන නයන්තාරා යන නම ලැබුණි. අධ්‍යක්ෂක සත්‍යයන් අන්තීක්ද් විසින් චිත්‍රපටියකට ආරාධනා කළ ද ඇය එයට ඒ තරම් ප්‍රියතාවක් දැක්වූයේ නැහැ. නමුත් සත්‍යයන්ගේ ඉල්ලීම අහක දැමීමට නොහැකි වූ නිසාම ඇය මීට එකග වූවා. කවුරුත් නොසිතු ආකාරයට මනසීනක්කරේ ‘Manassinakkare’ චිත්‍රපටිය සාර්ථක වුනා. ඉන් පසුව නයන්තාරා වෙත චිත්‍රපටි අවස්ථා දිගින් දිගටම ගලා එන්නට විය. 2004 වර්ෂයේ දී නයන්තාරා මලයාලම් සිනමාවට තවත් චිත්‍රපටි කිහිපයක් දායාද කළා. එහි මෝහන් ලාල්ගේ Vismayathumbathu චිත්‍රපටියේ ඇයගේ රංගනය විචාරකයන්ගේ පැසසුමට ලක් විය.

ඉන් නොනැවති 2005 වර්ෂයේ දී දමිළ සිනමාව වෙත පියමන් කළ ඇය තම කුළුඳුල් චිත්‍රපටිය ලෙස තෝරාගත්තේ සරත් කුමාර්ගේ චිත්‍රපටියක් වන අයියා චිත්‍රපටියයි. එහි අධ්‍යක්ෂක හරීය. දමිළ සිනමාවේ බොහෝ නිළියන් පෙරුම් පුරාගෙන සිටින එක්තරා නළුවෙකු සමග එකතු වීමට ඇයට අවස්ථාව ලැබුණි. ඒ සුපර් ස්ටාර් රජිනිකාන්ත් සමග චන්ද්‍රමුකි චිත්‍රපටියටයි. එහි දී ඇයට ඒ තරම් දක්ෂතාවයක් පෙන්වීමට නොහැකි වුයේ එම චිත්‍රපටියේ සම්පූර්ණ ආධිපත්‍ය ජෝතිකා සතු වීම නිසයි. නමුත් දින 800ක් පුරා තිරගත වූ චිත්‍රපටියක ප්‍රධාන නළුවාගේ පෙම්වතියගේ චරිතය නිරූපණය කළ ඇයට දමිළ සිනමාවේ ඇති ඉල්ලුම තවත් වැඩි වන්නට වුනා. අනතුරුව දමිළ සිනමාවේ තවත් විශිෂ්ඨතම නිර්මාණයක් වන ගජිනි චිත්‍රපටියටත් ඇයට චරිතයක් හිමි විය. ඉන් පසුව සිවකාසි චිත්‍රපටියේ ද එක් සින්දුවකට පමණක් රංගනයෙන් දායකවිය. 2005 වසරේ දමිළ සිනමාවේ ඉහළින් සිටි අධ්‍යක්ෂවරුන්ගේ හා නළුවන්ගේ චිත්‍රපටි හා ඇයට සම්බන්ධ වීමටද අවස්ථාව උදාවිය.

දමිළ සිනමාවට පමණක් සීමා නොවූ ඇය 2006 වර්ෂයේ දී තම කුළුඳුල් තෙළිගු චිත්‍රපටිය ලෙස තෝරා ගනු ලැබුවේ ලක්ෂ්මි චිත්‍රපටියයි. ඉන් අනතුරුව බොස්, අයි ලව් යූ යන චිත්‍රපටි දෙකකට දායක වන ඇය නැවතත් කොලිවුඞ් වෙත පැමිණ එම අවුරුද්දේ දී ඇයගේ රසිකයන්ට චිත්‍රපටි තුනක් ලබා දුන්නාය. එහි විශේෂත්වය නම් ඇය නිරූපණය කළ චරිත එකිනෙක වෙනස් වීමයි. මේ වනවිට ඇය වටා ඇයගේ රසිකයන් එක්රොක් වන්නට විය. විචාරක පැසසුම් ද වැඩිවෙමින් පැවති අවධියක ඇති වූ යම් පෞද්ගලික කාරණා මත ඇය චිත්‍රපටි ක්ෂේත්‍රයෙන් ඉවත් වී යන ලකුණු පෙන්නුම් කළාය. නමුත් 2007 වසරේ තිරගත වූ ‘බිල්ලා’ රීමේක් චිත්‍රපටියේ කවුරුත් බලාපොරොත්තු නොවූ රංගනයක් ඉදිරිපත් කිරීමට ඇය සමත් වූ අතර එහි දී ඇයගේ ශරීර හැඩය ගැන පවා විචාරකයන් ලියන්නට විය. 2008 දී ධනුෂ්ගේ චිත්‍රපටියක් වන ‘යාරුඩී නී මෝහිනි’ චිත්‍රපටිය වෙනුවෙන් ඇයට වසරේ ජනප්‍රිය නිළියට හිමි සම්මානය ලැබුණි. එය ඉන්දීය ජනප්‍රිය රූපවාහිනි ආයතනයක් වන විජෙයි ටී.වි ආයතනය විසින් සංවිධානය කරන ලද්දකි. පිටපිට අවුරුදු දෙකක දී මෙම සම්මානය හිමිකරගත් පළමු නිළිය ද ඇය වනවා. මීට පෙර බිල්ලා චිත්‍රපටිය වෙනුවෙන් ද ඇයට එම සම්මානය හිමි වීම විශේෂත්වයක්. මේ වන විට ඇය විජෙයි ජනප්‍රියම නිළියට හිමි සම්මානය හතර වතාවක් දිනා ඇති බව මතක් කළ යුතු වනවා. 2008 වසරේ දී හොඳම නිළියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානයට ද ඇයගේ නම නිර්දේශ විය.

2010 වර්ෂයේ දී බොක්ස් ඔෆිස් වාර්තා තැබු චිත්‍රපටි 5කට ඇය දායක විය. බොඩිගාර්ඩ් (මලයාලම්) එහි තෙලිගු චිත්‍රපටිය වන අර්ඩෘස්, සිම්මා (තෙලිගු), බෝස් එන්ගිර බාස්කරන් (දමිළ), සුපර් (කර්ණාටක, තෙලිගු). Asianet වසරේ නිළියට හිමි සම්මානය බොඩිගාර්ඞ් චිත්‍රපටිය වෙනුවෙන් ඇයට හිමි විය. සිම්මා එම වසරේ අධික ආදායම් ඉපැයූ තෙලිගු සිනමාව වූ අතර ‘බොස් එන්ගිර බාස්කරන්’ චිත්‍රපටිය විචාරක පැසසුම්වලට ලක් විය. මෙම චිත්‍රපටියට හරහා නැවතත් දමිළ සිනමා ගමන නයන්තාරා ආරම්භ කළාය. සුපර් චිත්‍රපටියෙන් නයන් කර්ණාටක සිනමාවෙහි ද පා තැබුවාය. එම වසරේ දී බොස් එන්ගිර බාස්කරන්, සිම්මා, සුපර් යන චිත්‍රපටිවලට අදාළ භාෂාවන් හි වසරේ නිළියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානයට ඇයගේ නම නිර්දේශ විය. තවද ඇය රංගනයෙන් දායක වූ ‘අලෙක්රම් මලයාලම්’ චිත්‍රපටිය ඉන්දීය ජාත්‍යන්තර චිත්‍රපට උළෙල හා ඩුබායි ජාත්‍යන්තර උළෙල විසින් තිරගත කිරීමට තෝරා ගෙන තිබීමත් විශේෂත්වයක්.

නැවතත් ඇයගේ සිනමා ගමනට බාධාවක් පැමිණෙන්නට විය.ජනතාව අතර අප්‍රසාදය ගොඩනැගුණු නිසා ඇය නැවතත් සිනමාවෙන් අතුරුදන් වන්නට විය. 2011 වර්ෂයේ දී ‘ශ්‍රී රාම ජෙයම්’ චිත්‍රපටිය තිරගත වන්නට විය. මෙම චිත්‍රපටිය වෙනුවෙන් ඇය කළ කැපකිරීම් අති විශාලය. එහි ඇයට හිමි වූයේ සීතා දේවියගේ චරිතයයි. ඒ වෙනුවෙන් ඇය මාස ගණනක් පේවී සිටියයා. නමුත් ඇයට සමාජයෙන් ඇති වූ අවලාද විශාලය. පන්දුවක් පොළව මත වේගයෙන් පතිත කළොත් එහි ඉපිලීම තවත් වේගවත් වනු ඇත. නයන්තාරත් එවැනිම චරිතයකි. ඇයට මෙම චිත්‍රපටිය වෙනුවෙන් නන්දී සම්මානය හා තෙලිගු වසරේ හොඳම නිළියට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය ද හිමි විය.

2012 දී නැවතත් නව සිනමා ගමනකට ඇය පා තබන්නට වූවාය. ‘ක්‍රිෂ්ණම් වන්ඬේ ජගරුම්’ නම් චිත්‍රපටියෙන් තෙලිගු සිනමාවටත් ‘රාජා රාණි’ චිත්‍රපටියෙන් දමිළ සිනමාවටත් ඇයගේ පැමිණිම නැවත සනාථ කළේ එම අවුරුද්දේ කොලිවුඞ් වසරේ නිළියට හිමි විජෙයි සම්මානයත්, ෆිල්ම් ෆෙයාර් සම්මානයත් ඇය සතු කරගනිමින්ය. රාජා රාණි චිත්‍රපටියේ රංගනය සම්බන්ධයෙන් ධනාත්මක විචාර ගලා එන්නට විය. තරුණ හදවත් ඇය විසින් නැවත වරක් සොරගත්තා යැයි කිව්වොත් මා නිවැරදියි කියා සිතමි. 2013 වර්ෂයේ දී දමිළ සිනමාවේ දැවැන්තයෙකු වන අජිත් කුමාර් සමග ‘ආරම්භම්’ චිත්‍රපටියට රංගනයෙන් දායක විය. ඇය දමිළ සිනමාවට පැමිණි විගස අධික ආදායම් ලැබු චිත්‍රපටි දෙකටම ඇය තම දායකත්වය ලබා දී තිබුණි.

රාජා රාණි (2013)

කාන්තාවකට තනියෙන් චිත්‍රපටිය රැගෙන යා හැකි බව පෙන්වීමේ අරමුණින් ඇය 2014 වර්ෂයේ දී ‘ඇනාමිකා’ භාරගත්තාය. ඉන් පසුව ‘මායා’ චිත්‍රපටියේ දී නළුවෙක් නැතිව වූවත් චිත්‍රපටිය සාර්ථක කිරීමට හැකි බව ඇය සැමට මතක් කර දුන්නා යැයි කිව හැක. ‘බාස්කාර් ද රාස්කල්’ චිත්‍රපටියෙත්, ‘තනි ඔරුවන්’ චිත්‍රපටියෙත් වෙනස්ම ආකාරයක චරිතයක් ඇය නිරූපණය කළාය.

දමිළ සිනමාවේ කවදත් රූ රැජින තමන් යැයි පවසමින් ‘නානුම් රවුඩි තාන්’ චිත්‍රපටිය හරහා කොලිවුඞ් නිලියන්ට ඇය අභියෝගයක් එල්ල කළාය. නිළියන්ට අභියෝගයක් වූවා පමණක් නොව එම වසරේ ෆිල්ම් ෆෙයාර් සම්මානය ද ඇය සතු කරගත්තාය. ඉන් පසුව දිගින් දිගටම නිළියට මූලිකත්වයක් ඇති චිත්‍රපටිවලින් පමණක් ඇයගේ දිනපොතට එක්වන්නට විය. මේ වෙද්දි ‘ලේඩි සුපර් ස්ටාර්’ යන අන්වර්ත නාමයෙන් ද ඇය හඳුන්වයි.

ජීවිතයේ ගන්න සමහර වැරදි තීරණ නිසා ජීවිතයේ පසුබැසීම් ඇති වෙයි. ඉන් නොවැටි සිටීමට නම් නයන්තාරව උදාහරණයට ගත යුතුය. පසුගිය දිනෙක ප්‍රසිද්ධ සගරාවක් වන ෆෝබ්ස් සගරාව විසින් 2018 වර්ෂයට අදාළ ජනප්‍රිය පුද්ගලයින්ගේ ලැයිස්තුවක් නිකුත් කරනු ලැබිය. ඉන් නයන්තාරාට හිමිව තිබෙන්නේ 69 වන ස්ථානයයි. එහි ඇතුළත් වූ එකම දකුණු ඉන්දීයානු නිළිය ද ඇයයි. මලයාලම් සිනමාවෙන් තම ජීවිතය ආරම්භ කළත් සම්පූර්ණ ඉන්දිය සිනමාව තුළම ඇය තම ආධිපත්‍ය මේ වනවිට පතුරුවා අවසන්.

-ජෙගන් ගනේෂන්-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *