100%ක් නැති වුනත් 80%ක් හොඳ ‘Petta’

පේට්ට, චිත්‍රපටියේ වැඩ ආරම්භ කරපු දවසේ ඉදලා බලාපොරොත්තුවෙන් හිටිය චිත්‍රපටියක්, ඒකට ගොඩාක් හේතු තිබුණා එකක් තමා අධ්‍යක්ෂවරයා, කාර්තික් සුබරාජ්. අනික රජිනි, විජයසේදුපති, ත්‍රීෂා වගේ ගොඩාක් හේතු තිබුණා. අනිත් වැදගත් කාරණය තමා මේ චිත්‍රපටියේ ඉන්න හැමෝම රජිනි රසිකයන් වීම. ඔවුන්ගේ නිර්මාණය කොහොම තියෙයිද කියලා බලන්න.

ඉතිං චිත්‍රපටිය ලෝකේ පුරා තිරගත කෙරුණා. අපි චිත්‍රපටිය ගැන කතා කරනවා නම්, එක්තරා විශ්වවිද්‍යාලයකට ඇමති කෙනෙකුගේ රෙකමන්ඞ් එකෙන් ‘කාලි’ කියන චරිතය නේවාසිකාගාර මුරකරු විදිහට රස්සාවට එනවා. ඒ විශ්වවිද්‍යාලයේ සිදු වන නවක වදයට, ජේෂ්ඨ සිසුන්ගේ ක්‍රියාකලාපයට කාලි දිගින් දිගටම විරුද්ධ වෙනවා. ඇයි එහෙම කරන්නේ කියලා දැනගන්න ඉතිං පේට්ට චිත්‍රපටිය බලන්නම වෙනවා.

ඉන්දීය සිනමාවේ ඉන්න එකම සුපර් ස්ටාර් ඔහු. මේ චිත්‍රපටිය හරහා රජිනිට මුල් කාලයේ දී රජිනිව දැකගන්න පුළුවන් වුණා. චිත්‍රපටියේ හැම රූප රාමුවකම පරණ චිත්‍රපටියක මතකයක් එක් කරන්න සමත් වුණා කියලා කිව්වොත් නිවැරදියි. රජිනිගේ රසිකයක් කොයි තරම් රජිනිව රසවිඳලා තියෙනවාද කියලා තේරුම් ගන්න මේ චිත්‍රපටිය ප්‍රමාණවත්. රසිකයන් නළුවෙකුව රසවිඳින්නේ කොයි තරම් අපුරුවටද? මේ චිත්‍රපටියේ ගේට්ටුවක් විවෘත කරන දර්ශනයෙන් මට ඔහුගේ ප්‍රථම චිත්‍රපටිය වන ‘අබූර්වරාගම්’ චිත්‍රපටියේ ගේට්ටුව විවෘත කළ අයුරු මතක් වනවා.

පළමු අර්ධයේ දී මට 90 දශකයේ දුටු සුපුරුදු රජිනිව දැකගන්නට හැකි වුණා කියන්න පුළුවන්. කබාලි, කාලා, 2.0 චිත්‍රපටියේ දී නොදුටු රජිනිකාන්ත් කෙනෙක්ව එහි දැකගන්න පුළුවන් වුණා. සෙල්ලක්කාර, විනෝදයට බර රජිනිකාන්ත් කෙනෙක්ව අපට නැවතත් හඳුන්වා දීම ගැන කාර්තික්ට ස්තූතිවන්ත වෙන්න ඕනේ. රජිනි රසිකයන්ගේ කැමත්ත අනුවම අනීරුත් විසින් සංගීතය භාවිතා කර තිබුණු අයුරු විශිෂ්ඨ මට්ටමක තිබුණා. මෙහි දී රජිනිගේ රංගනය ගැන කතා නොකරම බැරි තරම්. මේ තරම වයසට ගිහිනුත් ඔහු තමන්ගේ චරිතයට සාධාරණයක් කිරීමට දරණ උත්සහය අප අනිවාර්යයෙන් අගය කළ යුතු දෙයකි. සාමාන්‍යයෙන් චිත්‍රපටියක් විනාඩි 120කට වඩා බලනවා කියන්නේ එපා කරපු දෙයක්. මේකේ දී නම් පළමු අර්ධය ගලාගෙන යනවා තේරුණෙත් නෑ. නමුත් පළමු අර්ධය අවසන් වී දෙවන අර්ධය පටන් ගෙන විනාඩි 10ක් යද්දීම චිත්‍රපටියේ ඉතුරු කොටස අපට සිතා ගන්න පුළුවන් වුණා. දෙවන අර්ධයේ දී තිබු අතීතාවර්ජනය ගැන දැඩි බලාපොරොත්තු තියාගෙන හිටියත් රසිකයන්ගේ සියලු බලාපොරොත්තු සුන් වුණා කියලා කියත හැකි.

විජයසේදුපති චිත්‍රපටියේ දුෂ්ඨයා යැයි කිව්වත් ඔහුගෙන් ගත් වැඩ ප්‍රමාණය මදියි කියන එකයි මගේ අදහස, ඔහු හා රජිනි අතර ඇති කළ ඝට්ටනයේ මදියි කියලා හිතෙනවා. නවාසුඩීන් සිද්දිකී ගෙනුත් නිවැරදි ප්‍රයෝජනයක් ගෙන නොමැති බවයි මාගේ අදහස. පළමු අර්ධයට වඩා දෙවන අර්ධය කම්මැලිකමින් පිරුණ එකක් කියලා අනිවාර්යයෙන් කියන්න පුළුවන්. නමුත් මෙය රජිනි රසිකයන්ට හොඳ සංග්‍රහයක් කියන එක නම් විශ්වාසයි.

චිත්‍රපටියේ අනිත් සියලු දෙනාගේ රංගනය ගැන කිව යුතුයි සියලු දෙනාම තමන්ට භාර දුන් රාජකාරීය නිවැරදිව කරලා තිබුණා. රජිනිගේ සමහර දර්ශනවල දී ඔළුවේ තිබුණ විග් එකක වැටෙයි ද කියලා සාධාරණ බයකුත් ඇති නොවුණා නෙවෙයි. වෙඩි තබන දර්ශනවල දී ගිනි අවියෙන් පිටවන ආලෝකය යම් ප්‍රාථමික මට්ටමක් පෙන්නුම් කළා. දෙවන අර්ධයේ අධ්‍යක්ෂකවරයාගේ වරදින් මේවා සිදු වුණා ද නැතිනම් කුමක් වුණාද කියා අපට තේරුම් ගැනීමට නොහැකිව තියෙනවා. රසිකයන්ගේ බලාපොරොත්තු 100%ක් ඉටු කළේ නැති වුණත් 80%ක් ඉටු කර තිබෙනවා.

තාක්ෂණය හා සටන් ගැන කියන්නම අවශ්‍යයි. සටන් අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ පීටර් මාස්ටර් රජිනිට ගැළපෙන සටන් ක්‍රම භාවිතා කරලා තිබුණා. සාමාන්‍යයෙන් උඩ පියාසර කරන සටන් කළාවක් ඒකේ තිබුණේ. තවද කැමරා අධ්‍යක්ෂකවරයා ද තම කාර්යය නිසි අයුරින් ඉටු කර තිබීම විශේෂත්වයක්. ඔහු රජිනි රසිකයෙක් වීම නිසාම තමන්ට අවශ්‍ය ආකාරයට රජිනිව ජනතාව අතරට අරගෙන ආවා යැයි කීමට පුලුවන්. සුවිශේෂි කරුණක් නම් මේ චිත්‍රපටියට සම්බන්ධ සියලු දෙනාම රජිනි රසිකයන් වීමයි. මෙහි දී මහේන්ද්‍රන්ව අපට අමතක කළ නොහැක ඔහුයි රජිනිකාන්ත් කියන නළුවාව වෙනස්ම නළුවෙක් කළේ. ඒ ‘මුල්ලුම් මලරුම්’ චිත්‍රපටියෙන්. එය දමිළ සිනමාවේ තිරගත කළ පළමු යථාර්තවාදී සිනමා කෘතිය හැටියටයි බොහාේ විචාරකයන් පවසන්නේ.

මේ වනවිට IMDb විසින් ලකුණු 8.3ක් ලබා දී තිබිම ද විශේෂත්වයක්. අවසන් වශයෙන් එක දෙයක් කියන්නට අවශ්‍යයි රජිනිගේ රසිකයක් ඔහුව කොයි තරම් අධ්‍යනය කරලා තියෙනවා කියන්න හොඳම උදාහරණය මෙම චිත්‍රපටිය.

-ජෙගන් ගනේෂන්-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *