2.0 හොඳයිද?

ජංගම දුරකතනයකින් එක් ජීවිතයක් අපි මරනවා කියලා කිව්වොත් කවුරුත් විශ්වාස කරන්නේ නැති වෙයි. නමුත් එයයි සත්‍යය අප කවුරුත් දිනක වටහා ගන්නේ නෑ. මේ සම්බන්ධයෙන් වීඩියෝවක් නිකුත් වුණත් ඒ ගැන අපට මතක තියෙන්නේ විනාඩි පහක වැනි කාලයක් පමණයි. තවද දුරකතන ජාල සමාගම් තම පාරිභෝගිකයන් තම ජාලය හා රඳවා ගැනීමට රජයෙන් අනුමත කරන සංඥා තරංගවලට වඩා අධික තරංග නිකුත් කිරීමෙන් ඇති වන විනාශය ගැන පැහැදිලි කරමින් ශංකර්ගේ අධ්‍යක්ෂණයෙන් රජිනි, ඇමී ජැක්සන්, ආක්ෂේ කුමාර් යන අයගේ රංගනයෙන් ළඟදී තිරගත වූ චිත්‍රපටිය තමා 2.0 එහෙමත් නැතිනම් 2 පොයින්ට් ඕ.

මෙම චිත්‍රපටියට සාර්ථක ආරම්භයක් ලැබුණා කියලා කියන්නට පුළුවන්. ලංකාවේ පමණක් සිනමා ශාලා 84ක තිරගත කෙරුණා. 3D හා 2D විදිහට වර්ග කෙරුණා.

චෙන්නායි නගරයේ දුරකතන හිටිහැටියේ අතුරුදහන් වන්නට පටන් ගන්නවා. මේකට හේතුව මොකක්ද කියලා සොයාගන්න රජය සමඟ විද්‍යාඥයින් එක්වී විවිධ සාකච්ඡා කරලා අවසන් නිගමනයකට එනවා චිට්ටිව නැවත ගේන්න. ඉතිං චිට්ටි ඇවිත් මොනවද කළේ. ඇයි මේ දුරකතන අතුරුදහන් වුණේ. කවුරුන් ද මෙයට වගකියන්න ඕනේ කියන එකයි මේ චිත්‍රපටියේ කතාව වෙලා තිබුණේ.

සාමාන්‍යයෙන් වාණිජමය දමිළ චිත්‍රපටිවල අප දකින දෙයක් තියෙනවා. එනම් නිළියක් අනිවාර්යයි. ඇය ප්‍රධාන නළුවාගේ පෙම්වතිය විය යුතුයි ඔවුන් දෙදෙනාට යුග ගීත අහසේ පියාසර කරන සටන්. රජිනිකාන්ත්ගේ බොහෝ චිත්‍රපටිවල ද මෙම කාරණා අඩංගු වනවා නමුත් මෙම චිත්‍රපටියේ මට වෙනස්ම විදිහේ රජිනිකාන්ත් කෙනෙක්ව දැකගන්නට හැකි වුණා. අනවශ්‍ය ගීත, විහිළු, දෙබස් ඇතුළත් කර තිබුණේ නෑ. සාමාන්‍යයෙන් රජිනිගේ වෙනත් චිත්‍රපටියක් පළමු දින නරඹනවා කියන්නේ ඇගට අමුතු ගැම්මක් කෑගහලා විසිල් කරලා ආතල් එකක් ගන්න පුළුවන් නමුත් මෙහි එවැනි කිසිදු දෙයක් අඩංගු නොවි තිබීම විශේෂත්වයක්. එය දමිළ වාණිජමය සිනමාව ලද ජයග්‍රහණයක් කියලා කියන්නට පුළුවන්. චිත්‍රපටියේ පළමු අර්ධය දක්වා චිත්‍රපටියේ දුෂ්ඨයාගේ මුහුණ ප්‍රේක්ෂකයාට නොපෙන්වාම රැගෙන ගිය එකත් සුවිශේෂි දෙයක් හැටියට කියන්න පුළුවන්.

රජිනිකාන්ත්ගේ වෙනදාට නොදකින වෙනස්ම ආකාරයේ රංගනයක් දැකගන්නට හැකි වුණා. ඇමී ජැක්සන්ව අධ්‍යක්ෂකවරයා භාවිත කර තිබු මට්ටමත් ප්‍රශංසාවට ලක් කළ යුතු කරුණක් වනවා. නිතරම ලෝක සිනමාව නරඹන කෙනෙක් හැටියට මා තුළ ඇති වන ප්‍රශ්නයක් තමා ඇයි හොලිවුඞ්වල වගේ සුපර් හීරෝ චරිත ඉන්දීය සිනමාවේ නිර්මාණය නොවන්නේ කියන එක. එයට නිසි පිළිතුරක් අද වෙන කොට ශංකර්ගෙන් ලැබුණා යැයි කියන්නට පුළුවන්. ග්‍රැෆික්ස් ඉතා ඉහළ මට්ටමක තිබුණා, අවශ්‍ය තැන්වලට පමණක් අවශ්‍ය ආකාරයක සංගීතය භාවිතා කිරීමත් ප්‍රේක්ෂකයාට ලබා දිය යුතු විශාල පණිවිඩයක් ඉතා කෙටියෙන් මේ චිත්‍රපටිය හරහා ලබා දුන්නා කියා කියන්නට පුළුවන්.

සුපර් හීරෝ චරිතයක් සහිත චිත්‍රපටියක ප්‍රධානතම අංගයක් තමා දුෂ්ඨයා, දුෂ්ඨයා කොයි තරම් ශක්තිමත් වනවාද ඒ තරම් අපට වීරයාව ශක්තිමත් කර පෙන්විය හැකි. මෙහි ද එය ඒ අයුරින්ම වුණා. දුෂ්ඨයා ශක්තිමත්ය. එක රොබෝ කෙනෙකුට ඔහුව වැළැක්විය නොහැකි විය නමුත් අවසානයේ දී දුෂ්ඨයාව මෙල්ල කළ විදිහට මා ඒ තරම් ප්‍රිය කරන්නේ නෑ. අක්ශේගේ රංගනය උපරිම මට්ටමක තිබුණා කියලා කියන්නට පුළුවන් රජිනිට වඩා සමහර ස්ථානවල ඔහුගේ ඉස්මතු වීමක් දකින්නට ලැබුණා.

ඒ.ආර් රහුමාන්ගෙන් අපට නිතර ලැබෙන සංගීතයට වඩා වෙනස් වූ සංගීතයක් මේ චිත්‍රපටියේ දැකගන්නට හැකි වුණා. සරල විදිහට කියනවා රජිනිකාත්ගෙන් නම තිබුණාට ඔහු මේ චිත්‍රපටියේ නෑ. රහුමාන්ගේ නම තිබුණාට ඔහුත් මේ චිත්‍රපටියේ නෑ. වෙනස්ම අත්දැකීමක් ලබා දුන් චිත්‍රපටියක් ලෙසට අර්ථකතනය කරන්න පුළුවන්.

කෝටි 500කට අධික මුදල් ප්‍රමාණයක් යොදවා නිෂ්පාදනය කර ඇති චිත්‍රපටිය සියලු ආදයම් වාර්තා බිඳහෙළයි කියලා විශ්වාසයක් තිබුණත්, අනෙකුත් චිත්‍රපටිවලට ලැබෙන ආදයම් බදු නිදහස ඉන්දියාවේ දී ලැබෙන්නේ නැතිවෙයි. ඒ චිත්‍රපටියේ නම ඉංග්‍රීසියෙන් තිබිමයි. සාමාන්‍යයෙන් ඉන්දියාවේ දී ආදායම් බද්දෙන් නිදහස් වෙන්නට චිත්‍රපටි නාමය දෙමළ විය යුතුයි. වර්තමානය වනවිට එහි නීතිමය තත්ත්වය කොහොමද කියලා හරියට නොදන්නා නිසා ටික දවසක් බලා සිටිය යුතු වනවා.

මේ වනවිට IMDb වර්ගීකරණයේ ලකුණු 8.9ක් ලබා තිබෙනවා. නමුත් චිත්‍රපටියේ අඩුපාඩු නොතිබුණාම නොවෙයි. අවසනයේ තිබූ ගීතය චිත්‍රපටියේ වේගය අඩාලම කළා කියලා කියන්නට පුළුවන්. වෙනස්ම විදිහේ අත්දැකීමක් ලබන්නට අනිවාර්යයෙන්ම නැරඹිය යුතු චිත්‍රපටියකි 2.0.

-ජෙගන් ගනේෂන්-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *